Friday, April 19, 2024
Follow Us
දක්ෂ සූපවේදියෙක් වෙන්න වැදගත් වෙන්නේ ප්‍රායෝගික පුහුණුවයි

ප්‍රවීණ සූපවේදිනී නදී අමරසිංහ

අත කැපෙන්න ඕනෙ. ගින්දරට පිච්චෙන්න ඕනෙ. තෙල් විසිවෙලා ඒ පාරවල් හිටින්න ඕනෙ.

ප කලාව කියන්නෙ වර්තමානයේ ගෘහිණියන් අතර වඩවඩාත් අවධානය දිනා ගත්තකි. සමාජ මාධ්‍යයන් ඔස්සේ ද විවිධ දස්කම් පාන සූපවේදීන් සූපවේදිනියන් නිරන්තරයෙන් හමු වේ. සූප කලාවේ රසතැන් අපූරු ලෙස මවන්නට ඇය ද උපන් හපනියකි. තරුණි අපේ මේ කතාබහ දස්කම්වලින් විස්කම් පා රසික ආදරය දිනාගත් ප්‍රවීණ සූපවේදිනී නදී අමරසිංහ සමඟයි.

 

 කොහොමද මේ දවස්වල ජීවිතේ?

සුපුරුදු විදියට මගේ වැඩකටයුතු ටික කරන ගමන් පවුලෙ අයත් එක්කත් කාලය ගෙවමින් සතුටින් ඉන්නවා.

 

 පවුලෙ විස්තර මොනවද?

මට දුවෙක් ඉන්නවා. මගේ මහත්තයත් හෝටල් ක්ෂේත්‍රයේමයි ඉන්නෙ. මට මේ ක්ෂේත්‍රයට එන්න පිටිවහලක් වුණෙත් එයා.

 

 මුලින්ම කියන්න, ඔබ මේ කලාවට යොමු වුණේ කොහොමද?

මම අඳුරන චෙෆ් කෙනෙක් හිටියා. එයා කරන දේවල් බලන් හිටියා. එයා මටත් ඒ දේවල් කරන්න දුන්නා. මම කරන විදිය නිරීක්ෂණය කරලා එයා කිවුවා මට මේක ඇඟෙන්ම පිහිටලා තියෙන කලාවක් කියලා. මුලින්ම මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ ඔහු. ඒ යූස්ටඩ් කුරේ මහත්තයා. ඔහුගෙන් ලබා ගත් දැනුමත් එක්ක මගේ දක්ෂතාත් වැඩි දියුණු කරගෙන‍යි මේ ගමන ආවෙ.

 

• පුංචි කාලෙත් ආසාවක් තිබුණද ඉවුම්පිහුම් කටයුතුවලට?

නෑ. පොඩ්ඩක්වත් ආසාවක් තිබුණෙ නෑ. මම උයන්න දන්නෙත් නෑ. ඕලෙවල් කරන කාලෙ යාළුවෙක් තමයි මට ඉස්සෙල්ලාම වම්බටු සම්බෝලයක් හදන්න කියලා දුන්නෙත්. මම ඉස් ඉස්සෙල්ලාම කෑමක් කියලා හැදුවෙත් ඒ කෑමම තමයි. ක්‍රීඩාව තමයි ඒ කාලේ මගේ ජීවිතය වෙලා තිබුණෙ. මම දක්ෂ මලල ක්‍රීඩිකාවක්. අහම්බෙන් තමයි මේ සූපවේද ක්ෂේත්‍රයට යොමු වුණේ.

 

• සූප ශාස්ත්‍රය න්‍යායාත්මකව හැදෑරීමේ වැදගත්කම මොනවගේ ද?

ඕනෑම චෙෆ් කෙනෙක් එන්නෙ හෝටල් පාසල හරහා. එහෙම නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක්කො හෝටලයක වැඩ කරලා. පිඟාන හෝදන පොඩි තැන ඉඳලා එන කෙනෙක් වෙන්නත් පුළුවන්. න්‍යායාත්මකව ඉගෙන ගන්න ඕනෙ. හැබැයි කටපාඩම් කරලා ඒවා මතක තියාගෙන ඉඳලා වැඩක් නෑ. අත කැපෙන්න ඕනෙ. ගින්දරට පිච්චෙන්න ඕනෙ. තෙල් විසිවෙලා ඒ පාරවල් හිටින්න ඕනෙ. දක්ෂ සූපවේදියෙක් වෙන්න ගොඩක් වැදගත් වෙන්නෙ ප්‍රායෝගික පුහුණුවයි.

 

• අලුත් අලුත් ආහාර වට්ටෝරු හොයා ගන්න රහස මොකක්ද?

ඒක ඇවිල්ලා කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට අනිවාර්යයෙන් එන දෙයක්. අපේ සහජ හැකියාව කියන දේ,උනන්දුව, කැප කිරීම තුළින් තමයි මේ දේ එන්නෙ. කොච්චර වුණත් මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට පොතපතේ දැනුම විතරක් මදි. එකම දේ වුණත් දහපාළොස් පාරක් කරලා ඒ හදන රෙසිපි එක ගැන අලුත් දෙයක් කරන්න පුළුවන්.

 

• මේ තරම් රස රස කෑම හදන ඔබ කන්න කැමැති ආහාරය කුමක් ද?

මම කැමැතිම පොල් සම්බෝල එක්ක උණු උණුවේ සුදු කැකුළු හාල්වලින් හදපු බත් කන්නයි. හැමෝම හදන විදියට තමයි මාත් පොල් සම්බෝල හදන්නේ. ඒත් ඒකට පුංචි විශේෂයක් කරනවා. ඒ රස වෙනස් කර ගන්නයි. ලුණු රසයි, ඇඹුල් රසයි එක්ක සීනි ටිකක් එකතු වුණාම හොඳ රස සංකලනයක් තියෙනවා. ඉතින් මම පොල් සම්බෝලෙට සීනි ටිකක් එකතු කරනවා. ඔබටත් එහෙම හදලා බලන්න පුළුවන්.

 

• මේ ආපු ගමන්මඟේ ඔබට ආපු අභියෝග මොනවාද?

මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය අතහිත දෙනවා අඩුයි. බලන්නෙ කොහොම හරි පහළට ඇදලා දාන්න. තව කෙනෙක්ට වඩා තව කෙනෙක් ඉහළට එනවට කැමැති නැහැ. තව කෙනෙක් දන්න රහස් වට්ටෝරු තවත් කෙනෙක්ට කියලා දෙන්නෙ නැහැ. ඒ නිසා මම හිතනවා ගොඩක්ම මගේ කැපවීම, උනන්දුව, උත්සාහය මේ ගමන එන්න ඉවහල් වුණා කියලා. මම පොඩි දෙයක් හරි කෙනෙක්ගෙන් බලා ගත්ත ගමන් මට ඒක කරන්න පුළුවන්. ඒක තමයි මගේ උනන්දුව. අපිව ජීවිතයේ ජයග්‍රහණය කරා ගෙන යන්නේ මේ උනන්දුවයි, කැපවීමයි.

 

• සමාජ මාධ්‍යයෙන් ඔබ වඩා ජනප්‍රිය වීමට හේතුව කුමක් ද?

facebook පාවිච්චි කරන්නෙ, එහෙම නැත්නම් කෑම ගැන වැඩි උනන්දුවක් දක්වන්නෙ මධ්‍යම පාන්තිකයන්. එයාලා මේ වැඩවලට කැමැතියි. මම ලොකු ලොකු දේවල් කරන්නෙ නැහැ. ගෙදර තියෙන සාමාන්‍ය කළමනාවලින් අලුත් අලුත් දේවල් කරන්න අපේ ගෘහිණියන්ට කියලා දුන්නා. අඩු මුදලට, වැඩි වියදමක් නැතිව කෑම හදන්න කියලා දුන්නා. ඒක තමයි මගේ ජනප්‍රිත්වයේ රහස.

 

• ඉදිරි වැඩකටයුතු මොනවද?

මම සජීවීව උයන්න කියලා දෙන චෙෆ් කෙනෙක්. සාමාන්‍ය චෙෆ් කෙනෙක් නම් එයා කුස්සිය ඇතුළෙ ඉන්නෙ. එයා වැඩ කරන හැටි අනිත් අයට පේන්නෙ නෑ. ඉතින් මට ගොඩක් ලොකු වගකීමක් තියෙනවා නරඹන අයව මගේ අවධානයට යොමුකර ගැනීමට. ඒ කරන දේවල් පැහැදිලිව කියලා දෙන්න ඕනෙ. ඒවා හරියට කරන නිසා මට හොඳ ප්‍රතිචාර තියෙනවා. මම කලින්වැඩ කළේ ලොකු ආයතනයක. කෝවිඩ් සහ රටේ ප්‍රශ්නත් එක්ක ඒක නතර වුණා. ඉතින් දැන් රූපවාහිනී වැඩසටහන්, live cooking programme සහ මගේ අලුත් වට්ටෝරු, නිර්මාණ සමාජ මාධ්‍ය ඔස්සේත් පළ කරමින් කටයුතු කරගෙන යනවා.

 

සඳුනි අරුමප්පෙරුමාච්චි

Tharunie