Monday, April 21, 2025
Follow Us
රඹුටන් දෝසි

බැලූ බැල්මට රට ඉඳි වගේ නේද පේන්නේ. ඒත් ඒවගේ පෙනුමක් තිබුණාට මේ තමයි රඹුටන් දෝසි. ඇඹරැල්ලා දෝසි හදන විදිහටමයි හදලා තියෙන්නේ. හරිම රසයි. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ රඹුටන් මදය ඇටත් සමඟම කෑමට ගන්න හැකි වීම. හරියට අපි පුංචි කාලේ කොට්ටම්බා ඇටවල මදය කෑවා වගේ කන්න පුළුවන්. කිරි රසයි. ඒ වගේම මෙය පිරිසුදු වියළි වීදුරු බෝතලයකට දමා අවුරුද්දක් පමණ කල් තබා ගන්නට හැකියි. තාම රඹුටන් වාරය නිසා ඔබත් සාදා බලන්න.

හදන්න පැයක් පමණ ළිපේ තියන්න ඕනේ. ඉතින් මේ දවස්වල ගෑස් ප්‍රශ්නය තියෙන නිසා හදනකොට ඒ ගැනත් සැලකිලිමත් වන්න.

රඹුටන් ගෙඩි 20ක් පමණ

රතු සීනි පීරිසි කෝප්ප එකහමාරක්

රෝස් එෙන්ස් තේ හැඳි 1/2ක්

ලොකු දෙහි ගෙඩියක යුෂ

වතුර කෝප්ප භාගයක්

මුලින්ම රඹුටන් ගෙඩි සෝදා මද ඉවත් කර ගන්න. දැන් භාජනයකට සීනි හා වතුර දමා මඳ ගින්දරේ හැඳි ගාමින් උණු කරන්න. මිශ්‍රණයේ බුබුළු දානකොට එයට රෝස් එසන්ස් හා දෙහි යුෂ එකතු කර ඒකටම රඹුටන් ටිකත් එකතු කරන්න.

දැන් මඳ ගින්දරේම වරින් වර හැඳි ගාමින් විනාඩි 45ක් පමණ ළිපේ තබන්න. ටික වේලාවක් යනකොට පැණි මිශ්‍රණය මඳක් ඝන වී දුඹුරු පැහැ වෙනවා. ඒ වගේම, රඹුටන් මදත් ටිකක් කුඩා වෙනවා. දුඹුරු පැහැති පැණි මිශ්‍රණය රඹුටන්වල තැවරෙන කොට ළිප ඕෆ් කර හොඳින් නිවෙන්න තබන්න. මෙය බෝතලයට දැමීමට පෙර හොඳින් සිසිල් විය යුතුයි.

උණු වතුරෙන් තම්බා හොඳින් වියළා ගත් බෝතල්වල අසුරා තබන්න. අවශ්‍ය නම් ශීතකරණයේ වුවද තැබිය හැකියි.

Tharunie