Friday, April 19, 2024
Follow Us
වැල් කොහිල ව්‍යාංජනය

අපේ මිදුල්වල ඇති බොහෝ ගහ කොළ ගැන අපි දන්නේ නැති බවවත් ඔබ දන්නේ නැතිව ඇති. කොහිල නම් බොහෝ දෙනෙක් දන්නා ශාකයක් වුවත් ගොඩ කොහිල නැතිනම් වැල් කොහිල ලෙස හඳුන්වන වැල් වර්ගය කොතෙක් දැක තිබුණත් එය ආහාරයට ගන්නා බව නම් ඔබ නොදන්නවාට සැක නැහැ. එහෙම නම් අපි බලමු වැල් කොහිලවලින් රසවත් ව්‍යාංජනයක් සකසා ගන්නා ආකාරය.

 

වැල්කොහිල දළු ( මෝරපු නැති කොළ)

පරිප්පු ස්වල්පයක් හෝ කොස් ඇට

කිහිපයක්

මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

කහකුඩු ස්වල්පයක්

කුරුඳුපොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

ගොරකා කුඩා කැබැල්ලක්

සුදු ලූනු බික් දෙක තුනක්

අමු මිරිස් කරලක් දෙකක්

රම්පෙ, කරපිංචා

කුඩා ලූනු ගෙඩියක්

මිටිකිරි අඬුකෝප්පයක් පමණ

වියළි මිරිස් කරලක් දෙකක්

අබ ඇට ස්වල්පයක්

රස අනුව ලුණු

එය සාදන්නේ මෙහෙමයි:

පළමුවෙන් කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. කොස් ඇට ද පොතු ඉවත්කර කුඩාවට කපා ගන්න. එසේ නැතිනම් පරිප්පු ටික සෝදාගන්න. එයට සිහින්ව කපා ගත් ලූනු, අමු මිරිස්, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කහ, තුනපහ, ලුණු, කුරුඳුපොතු, උළුහාල් දමන්න. මිරිස් ස්වල්පයක් (කුඩා ප්‍රමාණයක්) දමන්න. ගොරකා කැබැල්ල ද දමා ළිපේ තබන්න. මෙය තැම්බීමට වතුර ස්වල්පයක් ද දමන්න.

මෙම ව්‍යාංජනය සැකසෙන තෙක් එය පියනකින් වැසීමෙන් වළකින්න. මෙය වැසීමෙන් කොළවල ඇති කොළ පැහැය වෙනස් විය හැකියි. කොස් ඇට හොඳින් තැම්බී වතුර ස්වභාව හිඳුන පසුව මිටිකිරි දමා හොඳින් උතුරවා ගන්න.

ඉන් පසුව බඳුනකට තෙල් දමා ළිප තබා එය රත්වන විට අබ ඇට ස්වල්පයක්, කරපිංචා, වියළි මිරිස් කැබැලි, සුදු ලූනු දමා බැදෙන විට මේ තෙම්පරාදුව කලින් සකසා ගත් ව්‍යාංජනයට දමා හොඳින් කළවම් කරන්න.

(Tharunie)