Friday, March 29, 2024
Follow Us
දූරියන් ඇට වඩේ

දූරියන් වාරෙට අපතේ යන දෙයක් ලෙසින් දූරියන් ඇට හඳුන්වන්න පුළුවන්. දූරියන් මදුළුවල රස බලන බොහෝ දෙනෙක් එහි ඇට, කිසිම ලෝබකමකින් තොරව ම ඉවත දානවා. ඒත් දූරියන් ඇටත් ඉතාම රසවත් ආහාරයක් ලෙස සකසා ගත හැකියි.

දූරියන් ඇට යොදා සකසන මේ රසවත් වඩේ ඔබටත් දූරියන් වාරයේ දී සකසා රස විඳිය හැකියි. දූරියන් කන්න අකැමැති අයෙක් වුණත් මේ දූරියන් ඇට වඩේ එක් වරක් හෝ රස වින්දොත් ආයෙ ආයෙත් ඒවා රස විඳින්න කැමැති වීම අරුමයක් නෙවෙයි.

 

 

දූරියන් ඇට කිහිපයක්

ලියාගත් රතු ලූනු

මිරිස් කැබැලි ටිකක්

කොච්චි ටිකක්

උම්බලකඩ ස්වල්පයක් (කැබැලි කළ)

කරපිංචා ඉති කිහිපයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු

දැන් අපි වඩේ හදමු:

පළමුවෙන් ම දූරියන් ඇටවල පොතු ඉවත්කර සෝදා පිරිසුදු කරගන්න. මෙහි තෙත් ගතියක් තිබුණහොත් නානු විය හැකි නිසා හොඳින් වියළා ගන්න. එසේ පිරිසුදුකර තෙත හිඳුවා ගත් දූරියන් ඇට සිහින්ව ග්‍රේට් කරගන්න. දැන් එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, සිහින්ව ලියා ගත් රතු ලූනු, මිරිස් කැබැලි, කොච්චි කරල් කිහිපයක්, උම්බලකඩ සහ සිහින්ව ලියා ගත් කරපිංචා ආදිය දමා හොඳින් මිශ්‍රකර ගන්න.

අතේ පොල් තෙල් ස්වල්පයක් තවරාගෙන සාදා ගත් මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන බෝල සාදා ඒවා මඳක් අතින් තදකර වඩේ සාදා ගන්න. දැන් මේවා ගැඹුරු තෙලේ බැද කෑමට ගන්න. අතේ තෙල් තවරාගත යුත්තේ මේ මිශ්‍රණය මඳක් ඇලෙන සුළු ස්වභාවක් ගන්නා බැවිනි.

මේ දිනවල පරිප්පු ඉහළ මිළකට ගෙන වඩේ හදන්න අපහසු නිසා මේ දූරියන් ඇට වඩේ ඔබේ පසුම්බියටත් සහනයක් සලසාවි.

(Tharunie)