Monday, May 06, 2024
Follow Us
විශේෂ කහ බත

අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1ක්

රතුලූනු ග්‍රෑම් 50ක්

මාගරින් හෝ පිරිසුදු පොල්තෙල් මේස හැඳි 4ක්

සුවඳ කුඩු තේ හැඳි 2ක්

සුදුලූනු ග්‍රෑම් 75ක්

ලුණු රස අනුව

රම්පෙ සහ කරපිංචා

 

සරසා ගැනීමට

බිත්තර හෝ වටු කුරුලු බිත්තර 10ක්

මුද්දරප්පලම් ග්‍රෑම් 100ක්

කජු ග්‍රෑම් 100ක්

 

සාදන ක්‍රමය

 

කීරි සම්බා සහල් හොඳින් සෝදා දිය බේරෙන්න තබන්න. කට පළල ගැඹුරු භාජනයක් ළිපේ තබා මාගරින් නම් මේස හැඳි තුනක් ද, පිරිසුදු පොල්තෙල් නම් මේස හැඳි 4ක් ද එකතු කරන්න. එය හොඳින් රත්වන විට තළාගත් සුදුලූනු, අමු ඉඟුරු, රම්පෙ, කරපිංචා හා සිහින්ව කපාගත් රතුලුනු එකතු කරන්න. මෙය හොඳින් රන්වන් පාට වන තෙක් බැදගෙන දිය බේරාගත් සහල් එකතු කර එයට සුවඳ කුඩු පුරවා තේ හැඳි 2ක්, කහ ස්වල්පයක් හා ලුණු රස අනුව එකතු කර තෙලෙන් බැදෙන්න හරින්න. පසුව බත ඉදෙන ප්‍රමාණයට අවශ්‍ය වතුර ප්‍රමාණය දමා බත පිස ගන්න.

බත සරසා ගැනීම සඳහා බිත්තර තම්බා ගැඹුරු තෙලේ බැදගන්න. මුද්දරප්පලම් සහ කජු වෙන වෙනම මාගරින් දමා තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කරන විට ලුණු ස්වල්පයක් ද එකතු කිරීමට අමතක නොකරන්න. බත පිළිගැන්වීමේ දී බැදගත් බිත්තර, තෙම්පරාදු කරගත් මුද්දරප්පලම් හා කජු එකතු කර සරසා ගන්න.

(Tharunie)