Tuesday, May 07, 2024
Follow Us
කර කර ගා රසට හැපෙන මාළු පැටිස්

කට්ලට්, රෝල්ස්වලට වාගේම පොඩි පැටවුන් පැටිස්වලටත් හරිම කැමැතියි. ඉතින් ඒ හින්දා මහන්සි නොබලා අපි පැටිස් ටිකකුත් හදා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

* සැමන් ටින් ( ග්‍රෑම් 200) 01ක්

* අල ග්‍රෑම් 300ක්

* ලූනු ගෙඩියක් පොඩියට කපාගෙන

* සුදු ලූනු බික් 1-3 ක්

* තළාගත් පොඩි ඉඟුරු කැබැල්ලක්

* රම්පේ , කරපිංචා ස්වල්පයක්

* ලුණු , ගම්මිරිස් රස පදම අනුව

* කෑලි මිරිස් මේස හැඳි

දෙකක් ( සැරට අවශ්‍ය නම්)

* සෝයා සෝස් මේස හැන්දක්

* තක්කාලි සෝස් මේස හැන්දක් ( මේ සෝස් වර්ග අත්‍යවශ්‍ය නොවේ)

* කුරුඳු පොතු කැබැල්ලක්

* එනසාල් 1-2 ක්

* කරාබු නැටි 2-3 ක්

* පොල් තෙල් මේස හැඳි 1-2

ක් සහ පැටිස් බැදිමට තෙල්

* දෙහි යුෂ මේස හැඳි 1-2 ක්

සාදාගන්නේ මෙහෙමයි

* මුලින්ම අල ටික තැම්බෙන්නට තබා සැමන් ටික පොඩි කැබැලිවලට කඩා ගන්න.

* ලුණු , ගම්මිරිස් ටික ටික එකතු කරලා කලවම් කරන්න.

* අල ටික තැම්බුණාට පසුව පොතු හැර හොඳට පොඩි කරගන්න.

 

 

 

* දැන් බඳුනක් ළිප තබා පොල් තෙල් ස්වල්පයක් දමා රත් වනවිට කරාබු නැටි , එනසාල් , කුරුඳු පොතු එකතු කරගන්න.

* ඉන්පසුව කපාගත් ලූනු , සුදුලූනු , ඉඟුරු , රම්පේ, කරපිංචා ආදියත් එකතු කරන්න.

* සුවඳ හමමින් බැදීගෙන එනවිට එයට පොඩි කරගත් සැමන් එකතු කරලා තෙම්පරාදු කරන්න.

* රස අනුව ලුණු , ගම්මිරිස් එකතු කරගන්න. කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු කරන්න.

* කැමැති නම් සෝයා සෝස් හැන්දක් සහ තක්කාලි සෝස් ද එකතු කර හොඳට කලවම් කරන්න.

* දැන් ළිප නිවා පොඩි කරගත් අල ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. දෙහි යුෂ පොඩ්ඩකුත් එකතු කරන්න.

* මිශ්‍රණය නිවුණාට පසුව එහි ඇති කරපිංචා , රම්පේ , කරාබු නැටි , එනසාල් , කුරුඳු පොතු ආදිය ඉවත් කරගන්න.

පැටිස් කවරය හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

* පාන්පිටි ග්‍රෑම් 300ක්

* බිත්තර කහමදයක්

* අයිස් වතුර කෝප්ප 1-2 ක්

* රස අනුව ලුණු

* කහ ස්වල්පයක්

* බටර් ග්‍රෑම් 100ක්

* බේකින් පවුඩර් තේ හැඳි 1 1/2 ක්

සාදාගන්නේ මෙහෙමයි

* පළමුව භාජනයකට පිටි, බටර් , බිත්තර කහමදය , බේකින් පවුඩර් , කහ එකතු කරන්න.

* දැන් එයට අයිස් වතුර ස්වල්පය බැගින් එක්කරමින් පිටි ගුලිය අතේ නොඇලෙන පදමට අනාගන්න.

* ඉන්පසුව මෙය බෝලයක් ආකාරයට සාදා තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න .

* පැයක් පමණ මෙසේ වසා තබා පසුව පොඩි කොටසක් ගෙන රෝලින් පින් එකක් භාවිතයෙන් තුනීකර කුඩා රවුම් කපා ගන්න.

* ඉන්පසුව ඔබ කලින් සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් මැදට තබා දෙකට නවා ගෙන ගෑරප්පුවකින් රවුමට එහි වටේ තද කර සීල් කරන්න. නැතිනම් මෙය පැටිස් කටරයකින් වුවද කපාගත හැකියි.

* ඔබ සකසා ගත් පැටිස් සියල්ලම පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න.

* අනතුරුව පිටතට ගෙන ස්වල්ප වේලාවක් තබා ගැඹුරු තෙලේ බැද ගන්න.

(Tharunie)