Monday, May 06, 2024
Follow Us
ක්‍රීම් රසය පිරුණු චිකන් රෝල්ස්

පොඩිත්තෝ ඉතින් වැඩියෙන්ම ආසා කරන්නෙ කිරි රසයටනේ. ඉතින් ක්‍රීම් රසය පිරුණු මේ චිකන් රෝල්ස් ටිකකුත් නොහදාම බැහැ.

ඒ සඳහා අපි මුලින්ම

මිශ්‍රණය සාදා ගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* කැරට් ගෙඩියක්

* කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 500ක්

* ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 03ක්

* ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්

* ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්

* කපගත් ලූනු ගෙඩියක්

* තළාගත් සුදු ලූනු බික් 2-3ක්

* හීනියට කපාගත් කරපිංචා

* පොල් තෙල් මේස හැන්දක්

 

සාදාගන්නා ආකාරය

* මුලින්ම චිකන් ටික සෝදා කුඩා කැබලිවලට කපා ගන්න .

* බඳුනක් ළිප තබා එය රත් වීගෙන එද්දී තෙල් මේස හැන්දක් එකතු කරන්න.

* අනතුරුව එයට කපා ගත් ලූනු , සුදු ලූනු , කරපිංචා එකතු කරන්න.

* ලූනු රන්වන් පැහැයක් ගනිද්දී කපාගත් කුකුළු මස් ටික ද එකතු කරන්න.

* රස අනුව ලුණු , ගම්මිරිස් එකතු කර ගන්න.

* පොඩියට කපා ගත්ත කැරට් ගෙඩියත් එකතු කරන්න.

* මේ සියල්ලම හොඳට තැම්බෙන්නට හැර ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරගන්න. එය මස් ටිකට උරා ගන්නාතුරු හොඳින් කලවම් කරන්න.

 

* ෆ්‍රෙෂ් ක්‍රීම් වෙනුවට බටර් මේස හැඳි දෙකක් දමා එය රත් වීගෙන එද්දී පාන්පිටි මේස හැඳි 2ක් එකතු කරන්න. මෙය හොඳට හැඳි ගාද්දී එක කැටයකට වාගේ එකතු වේවි. ඒත් දිගින් දිගටම හැඳිගාන අතරතුරේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4 ක් වගේ එකතු කරලා ගෙදරදීම ෆ්‍රෙෂ් ක්‍රීම් එක සාදා ගත හැකියි.

 

රෝල්ස් සෑදීමට අවශ්‍ය පෑන් කේක් සාදා ගනිමු

 

අවශ්‍ය ද්‍රව්‍ය

* පාන්පිටි ග්‍රෑම් 300ක්

* බිත්තරයක්

* රස අනුව ලුණු

* වතුර කෝප්ප 02ක්

සාදාගන්නා ආකාරය

* ඉහත සඳහන් සියල්ලම එකට දමා බ්ලෙන්ඩරය ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න.

* නැත්නම් අතින් හොඳට කලවම් කරගන්න.

* පොඩි බඳුනකට දමා ළිප ගාවම මිශ්‍රණය තියාගන්න.

* රවුම් පිඟානක තෙල් හෝ බටර් ස්වල්පයක් ගාලා ලෑස්ති කරගන්න.

* බිත්තරයක් බීට්කර පොඩි කප් එකකට දමාගන්න.

* දැන් ෆෑන් එකක් ළිප තබා සකසාගත් බැටර් එකෙන් මඳක් වක් කරලා තුනීයට පෑන් කේක් සාදා ගන්න.

* ඉන්පසුව පෑන් කේක් එක පිඟානකට දාලා එහි මැදට සකසාගත් කුකුළු මස් මිශ්‍රණයෙන් පොඩ්ඩක් දමා දෙපැත්තෙන්ම ඇතුළට නවලා රෝල් කරන්න. පෑන් කේක් එකේ අගින් බිත්තර සාරු පොඩ්ඩක් ගාලා ඇරෙන්නේ නැතිවෙන්න අලවා ගන්නත් අමතක කරන්න එපා.

* ඒ වාගේම මේ පෑන් කේක් එක සකසා නිවෙන්නට කලින් රෝල් එක හදා ගන්න ඕනෙ. නැත්නම් අලවන්න ආමාරුයි...

දැන් තියෙන්නේ බිත්තර තැවරුම සහ බිස්කට් කුඩු තැවරුම සකසා ගන්න.

ඒ සඳහා ,

* බිත්තර දෙකක් හොඳට බීට් කරලා ලෑස්ති කරගන්න.

* බිස්කට් කුඩු ටිකත් තරමක් විශාල පිඟානකට දාලා ලෑස්ති කරගන්න.

* ඉන්පසුව සකසාගත් පෑන් කේක් බිත්තර දවටනයේ තවරලා අනතුරුව බිස්කට් කුඩු එකේ තවරන්න.

* මේ විදිහට රෝල්ස් එක දෙපාරක් තවරාගත් විට අපූරුවට නොකැඩී තියේවි.

* දැන් ගැඹුරු තෙලේ බැදගන්න.

(Tharunie)