Monday, May 06, 2024
Follow Us
නිර්මාංස අයට කදිම සෝයා කට්ලට්

වැඩිහිටියෝ වාගේම තමයි සමහර පොඩිත්තෝ ඉන්නවා මස්, මාළු ප්‍රතික්ෂේප කරන. ඒ වාගේ නිර්මාංස කට්ටියට තමයි මේ සෝයා කට්ලට් හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

* සෝයාමීට් ග්‍රෑම් 200ක්

* අල ග්‍රෑම් 250ක්

* ලූනු ගෙඩියක් පොඩියට කපාගෙන

* සුදු ලූනු බික් 1-3 ක්

* තළාගත් පොඩි ඉඟුරු කැබැල්ලක්

* රම්පේ , කරපිංචා ස්වල්පයක්

* ලුණු , ගමිමිරිස් රස පදම අනුව

* කෑලි මිරිස් මේස හැඳි

2ක් ( සැරට අවශ්‍ය නැතිනම් නොදමන්න.)

* සෝයා සෝස් මේස හැඳි 1ක් ( අත්‍යවශ්‍ය නොවේ)

* කුරුඳුපොතු කෑල්ලක්

* එනසාල් ඇට 1-2ක්

* කරාබු නැටි 2-3ක්

* තෙල් මේස හැඳි 1-2ක්

* දෙහි යුෂ මේස හැඳි 1-2ක්

 

සාදාගන්නේ මෙහෙමයි

 

* මුලින්ම අල ටික තැම්බෙන්නට තියන්න. ඊට පස්සේ සෝයාමීට්වලට උණු වතුර ටිකක් දාලා එයද තම්බ ගන්න.

* තම්බාගත් සෝයාමීට් ටික හොඳින් මිරිකලා වැඩි වතුර ටික අයින් කරන්න.

මෙලෙක් වෙලා තිබෙන නිසාම ඔබට මේ සෝයා අතින්ම පොඩි කැබලිවලට කඩා ගන්න පුළුවනි.

* මෙයට ලුණු , ගම්මිරිස් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා කලවම් කරන්න.

* අල ටික තැම්බුණාට පස්සේ එය හොඳට පොඩි කර ගන්න.

* දැන් බඳුනක් ළිපේ තබා රත් වනවිට කරාබු නැටි , එනසාල්, කුරුඳුපොතු එකතු කරගන්න. ඉන්පසුව කපා ගත් ලූනු , සුදු ලූනු, ඉඟුරු , රම්පේ, කරපිංචා ආදියත් එකතු කරන්න .

* මේවා සුවඳ හමමින් බැදීගෙන එනවිට එයට කැබලි කරගත් සෝයාමීට් එකතු කරලා තෙම්පරාදු කරන්න . කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු කරන්න . සෝයා සෝස් හැන්දක් ද එකතු කර හොඳින් කලවම් කරන්න .

* දැන් ළිප නිවලා පොඩි කරගත්ත අල ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. දෙහි යුෂ පොඩ්ඩකුත් එකතු කරන්න

* මිශ්‍රණය නිවුණාට පසුව එහි ඇති කරපිංචා , රම්පේ , කරාබු නැටි, එනසාල් , කුරුඳුපොතු ආදිය ඉවත් කර කුඩා රවුම් බෝල සාදා ගන්න.

 

කට්ලට්වලට බැටර් එක හදාගන්නේ මෙහෙමයි

 

අවශ්‍ය ද්‍රව්‍ය

* පාන් පිටි කෝප්පයක්

* බිත්තරයක්

* රස අනුව ලුණු

* වතුර කෝප්පයක්

* කහ තේ හැඳි 1/4 ක්

සාදන ආකාරය

* ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ලම බඳුනකට දමන්න.

* හොඳින් මිශ්‍රකර උකු බැටරයක් සකසා ගන්න.

* මේ බැටරය කලින් සකසාගත් කුඩා කට්ලට් බෝලවල තවරා අනතුරුව බිස්කට් කුඩුවල ද තවරන්න.

* කට්ලට් එක තරමක් ගනකමට තියෙන්නට වාගේම, තෙලට දැමූවිට පුපුරා යෑම වළකාගන්නට දෙවරක් පමණ මේ විදිහට තවරන්න.

* කට්ලට් බදින්න තෙල් පාවිච්චි කරද්දි කට්ලට් ටික වැහෙන්න තෙල් දමන්න මතක තියාගන්න. ඒ වාගේම තෙල් හොඳට රත් වෙලා තිබිය යුතුයි. නැත්නම් පුපුරන්නට ඉඩ තියේවි.

(Tharunie)