Wednesday, May 15, 2024
Follow Us
කොහිල සීනි සම්බෝලය

බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, කිරිබත් මේ හැම දෙයක් එක්කම හොඳින්ම ගැළපෙන්නේ සීනි සම්බෝලයයි. අද පවතින ඉහළ ලූනු මිලත් සමඟින් සීනි සම්බෝල හැදීම තරමක් අපහසුයි. ඒත් කොහිල අලවලින් සැකසූ මේ සීනි සම්බෝලය ඔබේ කෑම වේලට වෙනස්ම රසයක් එක් කරාවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

සුද්ද කරගත් කොහිල අල කිහිපයක්

අමු මිරිස් කරල් 2 - 3ක්

රම්පෙ, කරපිංචා

කෑලි මිරිස්

සීනි සවල්පයක්

කූනිස්සන් හෝ උම්බලකඩ

බී ලූනු ගෙඩි 4ක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු රස අනුව

 

දැන් අපි සීනි සම්බෝලය

හදමු

කොහිල අල අඟලක පමණ කැබැලිවලට කපා සිහින් තීරු ලෙස ලියා ගන්න. තෙල් බඳුනක් ළිප තබා කපාගත් කොහිල රන්වන් පැහැ වනතෙක් බැදගන්න. ඉන්පසුව එහි තෙල් බේරෙන්නට තබන්න. දැන් සිහින්ව කපාගත් ලූනු ද රන්වන් පැහැ වනතෙක් හොඳින් බැදගෙන තෙල් බේරෙන්නට තබන්න.

රම්පෙ, කරපිංචා ද ගැඹුරු තෙලට දමා බැදගන්න. මෙලෙසින්ම කූනිස්සන් / උම්බලකඩ හා අමු මිරිස් ද බැදගන්න.

දැන් වෙනත් මැටි බඳුනක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත්වෙන්නට තබන්න. තෙල් රත්වූ පසු කෑලි මිරිස් එයට එකතුකර ටිකක් බැදෙන විට කලින් වෙන් වෙන්ව බැදගත් සියලුම ද්‍රව්‍ය එයට එකතුකර හොඳින් කළවම් කරගන්න.

අවසානයේ දී සීනි ස්වල්පයක් හා රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කරන්න. දෙහි යුෂ ස්වල්පයක් ද එකතුකර හොඳින් කලවම්කර මේසයට යවන්න. හොඳින් වසා තැබීමෙන් සති තුනක පමණ කාලයක් තබා ගැනීමට ද පුළුවන.

(Tharunie)