Thursday, May 16, 2024
Follow Us
කෙසෙල් කොළේ ඔතපු සුවඳ ඉස්සෝ බැදුම

ඉස්සො තරමක් ඌෂ්ණ වුණත් බොහෝ දෙනෙක් කැමැති ආහාරයක්. ව්‍යාංජනයක් හැටියට වගේම තෙලට, ඩෙවල් විදියට හදන ඉස්සො වෙනස්ම ආකාරයකට මේ විදියට හදන්න පුළුවන්. මෙය උතුරේ දමිල ජාතිකයන්ට ආවේණික වූ දේශීය ආහාර වට්ටෝරුවකි. කෙසෙල් කොළේ ඔතපු සුවඳ ඉස්සො බැදුම ලෙසින් ද මෙය හඳුන්වන්න පුළුවන්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

ඉස්සො ග්‍රෑම් 250ක්

කහ කුඩු

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු

විනාකිරි ස්වල්පයක්

කෙසෙල්කොළ කැබැල්ලක් (ඉස්සො දමා එතීමට හැකි ප්‍රමාණයේ)

ලොකු බී ලූනු ගෙඩි 2ක්

නයි මිරිස් කරල් 2ක්

හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්

අඟල් 1/2ක ප්‍රමාණයේ

ඉඟුරු කැබැල්ලක්

සුදු ලූනු බික් 4ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොත්තක්

කරදමුංගු කරල් 2ක්

කරාබු නැටි 3ක්

පොල් තෙල්

කොත්තමල්ලි කුඩු තේ හැන්දක්

සූදුරු කුඩු තේ හැඳි 1/4ක්

ගරම් මසාලා කුඩු තේ හැඳි 1/2ක්

සීනි තේ හැඳි 1/2ක්

මුරුංගා කොළ ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

දැන් අපි එය සාදමු

පළමුවෙන් ම හොඳින් සෝදා ගත් ඉස්සො එකට කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු හා විනාකිරි ස්වල්පයක්, ලුණු ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න. මෙය පදම් වීමට පැයක පමණ වේලාවක් ශීතකරණයේ තබන්න.

මේ අතර කෙසෙල් කොළය සෝදා තෙතමාත්තුකර තෙල් ස්වල්පයක් ගා ගින්දරට අල්ලා තවන්න.

බී ලූනු ගෙඩි හා නයි මිරිස් සිහින්ව කපා ගන්න. තක්කාලි ගෙඩිය සිහින් කොටුවලට කපා ගන්න. ඉඟුරු හා සුදුලූනු එකට අඹරා ගන්න.

දැන් බඳුනක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමා තළා ගත් කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, රම්පෙ, කරපිංචා එයට දමන්න. තෙම්පරාදුවට පහේ වර්ග දමා පදම් කරගත් ඉස්සො (උනපු වතුර බේරා) ටික දමන්න.

දැන් හැන්දකින් හොඳින් කලවම් කරමින් බදින්න.

ළිපේ ඇති මිශ්‍රණයට ම ලියාගත් ලූනු සමඟ ලුණු ස්වල්පයක් ද එකතු කරන්න.

දැන් ඉඟුරු, සුදුලූනු පේස්ට් එක හා තක්කාලි එකතු කරන්න. එයටම කහ කුඩු තේ හැඳි 1/4ක් දමා හොඳින් මිශ්‍රණය කලවම්කර පියනකින් වසා විනාඩි 2ක පමණ වේලාවක් තබන්න.

ඉන්පසුව බැදුමට මිරිස් කුඩු මේස හැන්දක්, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ගරම් මසාලා, සීනි එකතු කරන්න. ළිපේ ගින්දර වැඩිකර මිශ්‍රණය හොඳින් කලවම් කරන්න. තක්කාලිවලින් උනපු වතුර හිඳෙන තෙක් උයා ළිපෙන් බාන්න. මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කරන්න. දැන් කලින් තවාගත් කෙසෙල් කොළයේ මැදට කරපිංචා කොළ අහුරක් සහ මුරුංගා කොළ ස්වල්පයක් දමා තුනී කරන්න. එය උඩට හදාගත් ඉස්සො බැදුම උණුවෙන්ම දමා එයට උඩින් තවත් මුරුංගා කොළ ස්වල්පයක් දමා තුනී කරන්න. බත් පාර්සලයක් ඔතන ආකාරයට මෙය ඔතා කෙසෙල් පට්ටයකින් ගැට ගසන්න.

නන්ස්ටික් පෑන් එකක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි භාගයක් පමණ දමා ඔතාගත් පාර්සලය ඒ තුළ තබා වසා විනාඩි 2 - 3ක් පමණ මඳ ගින්නේ තබන්න. නැවත පාර්සලය අනෙක් පස හරවා නැවතත් පියනෙන් වසා එවැනිම වේලාවක් තබන්න.

ළිප නිවා ඉස්සො පාර්සලය එසේම පැයක් පමණ වේලාවක් තබා කෑමට සූදානම්ව පාර්සලය ලිහන්න.

සුවඳ විහිදෙන රසවත් ඉස්සො බැදුම ඔබේ රස නහර පිනවාවි.

ඉදිරිපත් කිරීම - චතුරිකා ලක්මිණි


(Tharunie)