Thursday, March 28, 2024
Follow Us
චොකලට් රස වෑහෙන චොකලට් චිප් කේක්

රස ඉතිරෙන කේක් එකක් සකසා පවුලේ ඇත්තන් සතුටු කරන්න… මෙන්න ඒ සඳහා අගනා කේක් එකක්. උත්සව අවස්ථාවකට, උපන්දිනයකට, සතුටු සාදයකට, විශේෂ සැමරුමකට ආදී අවස්ථාවන් සඳහා මෙවැනි කේක් එකක් ඔබටත් පහසුවෙන් සකසාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 240ක්

බිත්තර 5 ක් (ග්‍රෑම් 250)

බේකිං පවුඩර් තේ හැඳි 2ක්

කිරි පිටි තේ හැඳි 2ක්

කුකිං චොකලට් ග්‍රෑම් 200ක්

(පොඩියට කපා)

වැනිලා ස්වල්පයක්

කේක් එක සැරසීමට චොකලට්, බිස්කට් සහ කප් කේක් එකක්

සාදන ආකාරය

පිරිසුදු භජානයක් ගෙන එයට බටර් සහ සීනි දමා හොඳින් බීට් කරගන්න. සීනි දිය වූ පසු එයට බිත්තර එකින් එක එකතු කර නැවත බීට් කර එයට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. නැවත බීට් කරන්න. දැන් පිටි, කිරිපිටි සහ බේකිං පවුඩර් එකට හලා ගන්න. පිටි ටික මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කර වැනිලා ස්වල්පයක් දමා නැවත හොඳට ක්‍රීම් එකක් ලෙස බීට් කරගන්න. දැන් මේ කේක් මිශ්‍රණය ග්‍රෑම් 250 තැටි 4ක් ගෙන යටට තෙල් කඩදාසි දමා තැටිවලට සම සමව කේක් මිශ්‍රණය පුරවා ගන්න. තැටිවලට කේක් මිශ්‍රණය පිරවූ පසු එක තැටියකට ග්‍රෑම් 50ක් පමණ වැටෙන සේ පොඩියට කපාගත් කුකිං චොක්ලට් හැන්දක ආධාරයෙන් මිශ්‍රණයට කලවම් කරගන්න. දැන් මේ කේක් තැටි සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වය යටතේ කලින් රත්කරගත් අවන් එකක විනාඩි 35ක් - 40ක් කාලයකදී බේක් කරගන්න. (අවන් එකේ වර්ගය අනුව කාලය වෙනස් විය හැකියි.) මෙසේ බේක් කරගත් කේක් නිවෙන්නට තබා අයිසිං කරගන්න.

අයිසිං එක සාදාන ආකාරය

බටර් ග්‍රෑම් 250කට අයිසිං සීනි ග්‍රෑම් 750ක් - කිලෝ 01ක් අතර ප්‍රමාණයක් දමා වැනිලා ස්වල්පයක් ද එකතු කර හොඳින් බීට්කර සාදා ගන්න. මේ අයිසිංවලින් ටිකක් ගෙන එයට චොකලට් පවුඩර් අවශ්‍ය ප්‍රමාණයකට එකතු කර සැන්ඩ්විච් කිරීම සඳහා අයිසිං සාදාගන්න. මුලින්ම එක කේක් එකක් ගෙන එයට උඩින් චොකලට් අයිසිං තවරා තව කේක් එකක් ඒ මත තබන්න.මේ ආකාරයට ඉතිරි කේක් 2ත් තබා එකින් එක සැන්ඩ්විච් කර ගන්න. මෙසේ කිරීමෙන් උස්වූ කේක් එකක් සාදාගත හැකියි. දැන් මේ කේක් එක බටර් අයිසිංවලින් සම්පූර්ණයෙන් කවර් කරගන්න. කේක් එක නීට් කර ගැනීමට Icing Comb එකෙන් වටේ ඇඳගන්න. දැන් පින්තූරයේ පෙනෙන ආකාරයට මැදින් කප් කේක් එකක් තබා එය අයිසිං කර කේක් එක උඩ හා වටේට නො. 18 නොසල් එකෙන් චොකලට් අයිසිංවලින් ලොකු මල් දමන්න. තමන් කැමැති පරිදි චොකලට් සහ බිස්කට් තබා අලංකාර කරගන්න.

උපදෙස් - ගම්පහ Butter Dream Cakes හි තෙයාගි සධනිකා ගමගේ

(Tharunie)