Wednesday, May 15, 2024
Follow Us
ළපටි කෙසෙල් ගෙඩි මැල්ලුම

සමහර වෙලාවට අකලට කෙසෙල් ගස් කඩාගෙන වැටේ. එවිට එහි තියෙන ළපටි කෙසෙල් ගෙඩි පොත්ත පිටින්ම සිහින්ව ලියා කෙසෙල් මැල්ලුමක් හෝ තෙල් දාලා ආහාරයට ගන්න අපේ පැරැන්නෝ පුරුදු වී සිටියා. එය ඔබටත් මෙලෙසින් සැකසිය හැකියි.

අවශ්‍ය වන්නේ

 

ළපටි කෙසෙල් ගෙඩි කිහිපයක්

පොල් කෝප්ප භාගයක්

ලියාගත් කොච්චි හෝ අමුමිරිස්, සුදු ලූනු, රතු ලූනූ හා කරපිංචා

කහ ස්වල්පයක්, ගම්මිරිස් ඇට, අබ ස්වල්පයක්, රම්පේ කෑල්ලක් හා පදමට ලුණු

සෝදා පිරිසුදු කර කුඩා කැබලි කඩා ගත් හාල්මැස්සන් ටිකක් හෝ කූනිස්සන් (අවශ්‍ය නම් පමණක්)

කුරුඳු පොත්තක්

ගොරකා පේස්ට් ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම ළපටි කෙසෙල් ගෙඩි ටික පොත්ත පිටින්ම සිහින්ව ලියාගෙන ලුණු වතුරට දමා මිරිකා ගන්න. කොච්චි හෝ අමුමිරිස්, ලූනු, සුදු ලූනු, කහ සහ ගම්මිරිස් ඇට වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. එයටම පොල් හා පදමට ලුණු එකතු කර අපි සාමාන්‍ය පොල් සම්බෝලය කොටන විදිහට කොටා ගන්න.

දැන් භාජනයක් ළිපේ තියා තෙල් ස්වල්පයක් දමා රත්කර අබ එක්කර පුපුරුවා ගන්න. එයටම කරපිංචා, කුරුඳු කැබැල්ල, තක්කාලි, ගොරකා සමඟ හාල්මැස්සන් හෝ කූනිස්සන් එකතු කර මඳ ගින්දරේ ස්වල්ප වේලාවක් බැද ගන්න. එයටම සිහින්ව ලියාගත් ළපටි කෙසෙල් ටික දාමා හැන්දෙන් මිශ්‍ර කරමින් මලවන්න.

කලින් කොටාගත් පොල් මිශ්‍රණයත් එකතුකර තත්පර කිහිපයක් කූරූ ගාමින් තවත් ටිකක් මලවාගෙන ළිපෙන් අයින් කරන්න.

(Tharunie)