Wednesday, May 15, 2024
Follow Us
නත්තල් තේ මේසයට රෆෙලෝ

සරල රස කැවිල්ලක් ලෙස රෆෙලෝ හඳුන්වන්න පුළුවන්.

චොක්ලට් කෑමට වැඩි කැමැත්තක් දක්වන අයගෙන් නම් රෆෙලෝ බඳුන බේරගන්න දැඩි මහන්සියක් ගන්නට සිදු වේවි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

සුදු කුකිං චොක්ලට් හෝ සාමාන්‍ය වයිට් චොක්ලට් ග්‍රෑම් 100ක් (සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකියි)

විපිං ක්‍රීම් හෝ ටින් කිරි ග්‍රෑම් 50ක්

ඩෙසිකේට් පොල් ග්‍රෑම් 70ක් (මේ සඳහා එක්වරක් කිරි මිරිකා ගත් පොල් කුඩු ස්වල්පයක් හොඳින් වියළා ගන්න.)

බටර් ග්‍රෑම් 12ක්

වැනිලා තේ හැන්දක්

ආමන්ඩ් ඇට හෝ කජු ඇට ස්වල්පයක්

දැන් අපි රෆෙලෝ හදමු:

පළමුවෙන් ම චොක්ලට් ඩබල් බොයිල්කර (චොක්ලට් බඳුන උණුවතුර බඳුනක් තුළ තබා) දියකර ගන්න. දැන් බටර් හා විපිං ක්‍රීම් (මෙය ගන්නේ කිරි ගතියටයි) මිශ්‍රකර මෙයට වැනිලා ස්වල්පයක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණයට ම වියළාගත් පොල් වලින් කොටසක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. මෙය මඳක් දියාරු මිශ්‍රණයක් ලෙස එන නිසා පැයක පමණ වේලාවක් ශීතකරණයේ තබන්න.

පැයකට පසුව ඉතිරි වූ වියළි පොල් පිඟානකට දමන්න. ආමන්ඩ් හෝ කජු ඇට ද ළංකර ගන්න. දැන් ශීතකරණයෙන් චොක්ලට් මිශ්‍රණය එළියට ගෙන තේ හැන්දකට ඉන් ස්වල්පයක් ගෙන එය අතට හලා ගන්න. මෙයට ආමන්ඩ් හෝ කජු ඇටයක් තබා චොක්ලට්වලින් වසා හොඳින් බෝල කරන්න. (දැන් මෙම මිශ්‍රණය මඳක් ගන වී ඇත)

ඉන් පසුව සාදා ගත් චොක්ලට් බෝල වියළි පොල් මතට දමා හොඳින් දවටා පිඟානකින් තබන්න. මෙය මඳ වේලාවකින් හොඳින් ගන වේ. දැන් රෆෙලෝ තේ මේසයට යන්න සූදානම්.

මෙය වඩාත් ලස්සනට පිළිගැන්වීමට ඔබේ නිර්මාණශීලී හැකියාවන් උපයෝගී කරගත හැකියි.

(Tharunie)