Wednesday, May 15, 2024
Follow Us
රුලං පීසා

පීසා කියන්නෙ තරමක් මිල අධික කෑමක් කියල තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ මොකද කියනවා නම් පීසා හදන්න චීස්, සොසේජස්, මස්, බිත්තර, සෝස් වර්ග කිහිපයක් ආදී වශයෙන් කළමනා බොහොමයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් මිල අධික කළමනා වෙනුවට වෙනත් දේ භාවිත කරල පීසා හදාගන්නත් පුළුවනි. විශේෂයෙන්ම පාන් පිටි වෙනුවට රුලං භාවිත කරලා, මස්, මාළු, සොසේජස් වෙනුවට හතු, ටෝෆු වාගේ දේවල් මිශ්‍ර කරලා හරිම රසට පීසා හදන්න පුළුවනි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

¾ ‍රුලං කෝප්ප 1/2ක්

¾ කඩල පිටි මේස හැඳි 03ක්

¾ මීකිරි හෝ යෝගට් මේස හැඳි 03ක්

¾ ලුණු කුඩු තේ හැන්දක්

¾ වතුර කෝප්ප 1/2ක්

¾ ඔරිගානෝ සහ සුදුලූනු කුඩු ටිකක් (තියෙනවා නම් පමණක්)

සාදාගන්නේ මෙහෙමයි

¾ පළමුවෙන්ම පිරිසුදු බඳුනක් අරගෙන එයට රුලං සහ කඩල පිටි ටික දමන්න. තියෙනවා නම් ඔරිගානෝ, සුදුලූනු ටිකත් එයටම දමන්න. ලුණු කුඩු ටිකත් දමලා සියල්ලම හොඳින් කලවම් කරගන්න.

¾ දැන් මේ පිටි මිශ්‍රණයට යෝගට් හෝ මීකිරි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. එයටම වතුර හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ටිකක් දාලා ( වතුර කෝප්ප 1/2න් ටිකක් දාලා ) කලවම් කරන්න. සාමාන්‍යයෙන් අපි ආප්ප මිශ්‍රණය අනනකොට පොල් කිරි දාලා අනාගන්න පදම තියෙන්නෙ, ඒ කියන්නෙ ගොඩාක් දියාරුවටත් නැතුව තලප ගතියටත් නැතුව අනන විදිහට මිශ්‍රණය හදාගන්න. මෙය ටිකක් ගනකමට තිබිය යුතුයි.

¾ මිශ්‍රණය හදාගෙන විනාඩි 15ක් වගේ වේලාවක් වහලා පැත්තකින් තියන්න.

¾ විනාඩි 15කට පස්සෙ බඳුන ඇරලා බැලුවාම රුලං ටිකට වතුර උනලා මිශ්‍රණය ගොඩාක් උකුවෙලා වගේ තියෙනවා ඔබට බලාගන්න පුළුවනි.

¾ දැන් නැවතත් මේ මිශ්‍රණය හොඳට කලවම් කරලා ඉතිරි වතුර ටිකත් දමලා තෝසේ බැටර් එකේ ඝනකමට මිශ්‍රණය හදාගන්න.

¾ ඉන්පසුව තෝසේ පෑන් එක ළිපතබා පොල්තෙල් ස්වල්පයක් ගාන්න. අනතුරුව ඔබ සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් දාලා තෝසේ හදනවා වගේ ටිකක් ලොකුවට රොටිය හදන්න. ගින්දර ටිකක් වැඩි කරලා දෙපැත්තම දලා පුච්චා ගන්න.

¾ දෙපැත්තම හොඳින් පුලුස්සා ගත්තාට පස්සේ ගින්දර හොඳටම අඩු කරන්න. තියෙනවා නම් තක්කාලි සෝස් හරි පීසා සෝස් හරි ටිකක් ගාලා චීස් ටිකක් ඉසින්න. අමුමිරිස් ටිකක් රටලූනු ටිකක් දමලා මඳ ගින්දරේ තියන්න.

* චිස් ටික හොඳින් දිය වුණාට පස්සේ බිත්තරයක් හොඳට බිට් කරලා උඩට දාගන්න. නැවතත් බිත්තරය තැම්බෙනකම් බඳුන වහලා තියන්න. මතක ඇතුව ලුණු ගම්මිරිස් ටිකකුත් ඉසින්න.

* මේ කිව්වෙ චීස් මිශ්‍ර පීසා එකක් හදන හැටි. ඒත් ඔයාට සොසේජස්, ඉස්සෝ, දැල්ලෝ හෝ වෙනත් ඕනෙම මස් වර්ගයක් නැතිනම් හතු, ටෝෆු වාගේ දේවල් දාලා සාමාන්‍යයෙන් හදන පීසා වාගෙම හදා ගන්න පුළුවනි.

(Tharunie)