Monday, April 29, 2024
Follow Us
නත්තල් රිච් කේක්... වයින් එක්ක රස බලන්න

මිහිදුම් සලු පොරවාගත් සිසිලසත් සමඟින් මේ උදාවන්නේ සොඳුරු නත්තලයි. මේ නත්තල හැඩ කරන්නට රසයෙන් අනූන නත්තල් කේක් හදාන්න හිතන ඔබටයි මේ ....

වෙඩිං කේක් කියන්නෙත් මේ නත්තල් කේක්වලට තමයි. ඒ නිසා හැමෝටම පුළුවන් මේ ක්‍රිස්මස් කේක් එහෙමත් නැත්නම් නත්තල් කේක් හදන්න. නත්තල් කේක්වල රස වැඩිවන්නේ පරණ වූ තරමටයි. ඒ නිසා අපි කල් ඇතුව නත්තල් කේක් හදාගන්න මෙලෙස අත්වැලක් ලබා දෙනවා.

අප ඔබට මේ ලබා දී ඇති ප්‍රමාණ අනුව කෑලි 40 ක් පමණ කපාගන්න පුළුවන්. ඒ නිසා ඔබට අවශ්‍ය කෑලි ගණන අනුව අමුද්‍රව්‍ය ප්‍රමාණ සකසාගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

රේසින්ස් ග්‍රෑම් 100 ක්

සුල්තානා ග්‍රෑම් 100 ක්

කජු ග්‍රෑම් 130 ක්

ඉඟුරු දෝසි ග්‍රෑම් 50 ක්

චෙරි ග්‍රෑම් 60 ක්

කැන්ඩිඩ් ෆෘට්ස් ග්‍රෑම් 60 ක්

කෑන්බෙරීස් ග්‍රෑම් 50 ක්

(මේ සඳහා පුහුල් දෝසි, චව් චව්, හා ලංකාවේ තිබෙන සොයාගත හැකි දේවල් ගන්න)

මික්ස්ඩ් ෆෘට්ස් ග්‍රෑම් 250 ක්

(මෙතැනදී ඔබ ඉහත ගත්ත හැම පලතුරක්ම ඉඟුරු දෝසි හැර කලවමට ගන්න. ඒ හැම පලතුරු ප්‍රමාණයක්ම ගෙන ඊට අමතරව තමයි වෙනම කලවමට තවත්ග්‍රෑම් 250 ක් ගන්න ඕනේ.)

ජෑම් ග්‍රෑම් 110 ක් (ස්ට්‍රෝබෙරි ජෑම් හෝ කැමැති ජෑම් වර්ගයක් ගන්න)

මී පැණි මේස හැඳි 2 ක්

බ්‍රැන්ඩි මිලිලීටර් 35 ක්

(බ්‍රැන්ඩි වෙනුවට ඇපල් ජූස් යොදාගන්නත් පුළුවන්)

වැනිලා තේ හැඳි 2 ක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 2 ක්

රුලං ග්‍රෑම් 250 ක්

දුඹුරු සීනි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 110 ක්

කුරුඳු කුඩු තේ හැඳි ¼ ක්

සාදික්කා කුඩු තේ හැඳි ¼ ක්

ලෙමන් ගෙඩියක සහ දොඩම් ගෙඩියක

වටේ පොත්ත (ග්‍රේට්කර ගත්)

බිත්තර කහ මද 6 ක්

බිත්තර සුදු මද 3 ක්

 

සාදන ආකාරය

කජු හැර අනිත් සියලුම වියළි පලතුරු පුංචියට කපා බ්‍රැන්ඩි එකතු කර රැයක් තබන්න. දැන් එයට හීනියට කපාගත් කජු, ලෙමන් පොතු, පැණි, වැනිලා, ආමන්ඩ් එසන්ස් සහ ජෑම් එකතු කර හොඳින් කලවම් කරන්න. බිත්තර සුදු මද වෙනම හිම වගේ වෙනකම් බීට් කරගන්න.

සීනි, බටර්, බිත්තර කහ මද ක්‍රීම් එකක් වගේ වෙනතුරු වෙනම බීට් කරගන්න. රුලං ළිපේ තියා පොඩ්ඩක් වෙන්න බැදගන්න. නිවුණු පසු එයට කුරුඳු කුඩු, සාදික්කා කුඩු කලවම් කරගන්න. දැන් බිත්තර කහ මද මිශ්‍රණයට මේ රුලං මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරන්න. එයට සකසාගත් පලතුරු එකතු කරන්න. අන්තිමට සුදු මද එකතු කරමින් ෆෝල්ඩ් ආකාරයට පෙරලමින් වගේ කලවම් කරගන්න. කිලෝ 2ක තැටියක් ගෙන එයට පත්තර කොළ 3 ක් සහ බේකිං පේපර් 2 ක් දමා සකසා ගන්න. ඒ මත කේක් මිශ්‍රණය

 

අතුරා සෙල්සියස් අංශක 130 ක උෂ්ණත්වයෙන් පැය 2 ත් 2½ ක් අතර කාලයක් බේක් කරගන්න.

(කේක් එකේ සුවඳත් වෙලාවත් ගතවූ පසු ටුත් පික් එකක් මඟින් බේක් වෙලා ද කියා බලන්න. එක එක අවන්වල උෂ්ණත්වය අඩු වැඩි වෙන්නත් පුළුවන්. එ නිසා මේ වෙලාව අතරතුර බලන්න ටුත් පික් එක පිරිසුදුව ආවොත් කේක් එක හොඳින් බේක් වෙලා.)

දැන් ඔබ "නත්තල් රිච් කේක් " එක සකස් කරගෙන ඉවරයි, දැන් එය අපේ විදියට රස ගන්වමු.

බේක් වුණාට පසු බ්‍රැන්ඩි හෝ ඇපල් ජූස් කෝප්ප කාලක් බ්‍රෂ් එකකින් කේක් එක පුරාම ගාන්න. මෙය නිවුණු පසු හොඳින් ඔතා පැය 24 තියන්න. දැන් කේක් එක ගෙන කොටස්වලට කඩන්න. (අත් ග්ලවුස් පලඳා පිරිසුදු ලෙස කරන්න)

එයට ජෑම් මේස හැඳි 3, පැණි තේ හැඳී 2 එකතු කර හොඳින් කලවම් කරන්න. හොඳින් පැණි සහ ජෑම් කලවම් කර සාදාගත් කේක් බේකිං පේපර් එකක් හෝ තැටියක් මත කැමැති පළල සිටින සේ තුනී කරන්න. ආමන්ඩ් අයිසිං එක අතුරා කැමැති සයිස් කෑලි කපා ලස්සනට සරසා ගන්න.

 

ආමන්ඩ් අයිසිං එක සදාගනිමු

ආමන්ඩ් වෙනුවට කජු ගන්නත් පුළුවන්. කජු පිටි වෙන්න කුඩු කරගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ආමන්ඩ් හෝ කජු පිටි ග්‍රෑම් 150 ක්

අයිසිං සීනි ග්‍රෑම් 300 ක්

ආමන්ඩ් එසන්ස් තේ හැඳි ¼ ක්

බිත්තර සුදු මද 2 ක්

ලෙමන් බිංදු කිහිපයක්

 

සාදමු

බිත්තර සුදු මද හා ආමන්ඩ් එසන්ස්, ලෙමන් එකතු කරන්න. එයට ආමන්ඩ් පිටි එකතු කරන්න.

දැන් අතේ නො ඇලෙන පදම එනතුරු අයිසිං සීනි එකතු කරමින් කලවම් කරන්න. බිත්තර ලොකු හෝ පොඩි නිසා ඒ සුදු මද අනුව ඔබට අයිසිං සීනි අඩු වැඩි කරගත හැකියි.

ඒ අනුව අයිසිං සීනි එක් කරන්න. කේක් එක මත ජෑම් බ්‍රෂ් එකකින් ගා සාදා ගත් ආමන්ඩ් අයිසිං එක කේක් එක මත අතුරන්න. ඔබට අවශ්‍ය සයිස් එකට කෑලි කපාගන්න.

මේ විදියටම පලතුරු, බ්‍රැන්ඩි එකතු කර සති දෙකක් තබා කේක් එක සාදා තව සති දෙකක් තබා සාදන්න, විවාහ උත්සව ළඟ එන අයට පුළුවන් සාදා තියන්න.


(Tharunie)