Friday, May 17, 2024
Follow Us
හරිම රසයි සාදික්කා ජෑම්

බොහෝ වෙලාවට උදේ ආහාරයට එහෙමත් නැත්නම් සවස තේ වෙලාවට පාන්, බනිස්, බිස්කට් වැනි කෙටි කෑමක් ලබා ගන්නටයි අපි කවුරුත් පුරුදුව සිටින්නේ. විශේෂයෙන්ම ජෑම් වැනි තැවරුමකින් මේවා රස ගන්වන්නත් අපි අමතක කරන්නේ නෑ. අඹ, අන්නාසි, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී රස රැසකින් මේ ජෑම් සකසා ගන්න පුළුවනි. එහෙමනම් අද අපි බලමු ඉවතලන සාදික්කා ලෙල්ලෙන් ජෑම් සකස් කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

 

r සාදික්කා ලෙලි කිලෝ ග්‍රෑම් 01ක්

r සීනි කිලෝ ග්‍රෑම් 01ක්

r ඔබ කැමැති නම් අඹ, අන්නාසි වැනි පලතුරු

වර්ගයකින් එක් වර්ගයක්

r සෝඩියම් මෙටා බයි සල්පයිට් ඉතා ස්වල්පයක්

r මේස ලුණු ස්වල්පයක්

r ජෑම් දැමීමට ජීවානුහරණය කළ බෝතල්

 

සාදන ක්‍රමය

 

පළමුව මේරූ සාදික්කා ලෙලි ටික හොඳින් සෝදාගන්න. අනතුරුව ඒවායේ පිටපොත්ත ඉවත් කරගන්න. මෙලෙස පිටපොත්ත ඉවත් කරගත් සාදික්කා ලෙලි තරමක් කැබැලි සිටින සේ කපා ගත යුතුයි. ඉන්පසුව ජලයට ලුණු ස්වල්පයක් එක්කර මේ කපාගත් සාදික්කා ලෙලි ටික විනාඩි 30ක් පමණ තම්බා ගන්න.

එලෙස තම්බා ගත් සාදික්කා ලෙලි ටික පිටතට ගෙන ලී හැන්දකින් හෝ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩි කරගන්න. ජලය ස්වල්පයක් ද එයට මිශ්‍ර කරන්නට අමතක කරන්න එපා.

ඉන් අනතුරුව එය පිරිසිදු රෙදිකඩකින් පෙරාගත යුතුයි.

පෙරාගත් මේ මිශ්‍රණයට සීනි කිලෝ ග්‍රෑම් එකක් මිශ්‍ර කරන්න.

දැන් මඳ ගින්දරේ ළිප තබා නොකඩවා හැඳිගාමින් ඒකාකාරිව රත්කරන්න. මිශ්‍රණය ක්‍රමයෙන් උකුවන විට සෝඩියම්මෙටා බයි සල්පයිට් ඇගිලි තුඩු දෙකට හසුවන තරමේ ඉතා ස්වල්පයක් යොදන්න.

නැවතත් හොඳින් හැඳිගාමින් තව දුරටත් උකුවන සේ රත් කරන්න. (මෙලෙස සෝඩියම් මෙටා බයි සල්පේට් එකතු කළ යුත්තේ ඔබ සාදන සාදික්කා ජෑම් මාස කිහිපයක් තබා ගැනීමට අවශ්‍ය නම් පමණි. ස්වල්ප ප්‍රමාණයක් සකසා ඉක්මනින් ප්‍රයෝජනයට ගන්නේ නම් මේ සෝඩියම් මෙටා බයි සල්පේට් යෙදීම අවශ්‍ය නොවේ. මේ මිශ්‍රණය රත්කරන අතරතුර පෙණ ඇතිවන්නේ නම් සිදුරු සහිත හැන්දකින් ඒවා ඉවත් කරන්නටත් වග බලා ගත යුතුයි.

එමෙන්ම මේ ජෑම් සකසා ගැනීමේ දී ඔබට වෙනත් රසයක් එකතු කිරීමට අවශ්‍ය නම් තැම්බු සාදික්කා ලෙලි මිශ්‍රණය පොඩිකරන විට ඉදුණු අඹ , අන්නාසි හෝ වෙනත් ඕනෑම පළතුරු වර්ගයක් සිහින්ව කපා මේ මිශ්‍රණයට එකතු කරගත හැකිය.

මිශ්‍රණය පදමට උකුවී ඇති අවස්ථාව පත්පැණි මෙන් අවස්ථාවයි. එවිට බඳුන ළිපෙන් බා නිවෙන්නට හරින්න. ඉන්පසුව ජීවානුහරණය කළ බෝතල්වල අසුරා කැමැති වේලාවක රස බලන්න.

(Tharunie)