Friday, April 26, 2024
Follow Us
රාබු කොළ මිශ්‍ර සෝයා බීන් කර්ඩ්/ටෝෆු

සෝයා කිරි මුදවලා හදන බීන් කර්ඩ් නැත්නම් ටෝෆු (Tofu) ලංකාවේ අපිට ඒ තරම් පුරුදු කෑමක් නොවුණත් ජපානය, කොරියාව, තායිලන්තය වගේ රටවල බොහෝම ජනප්‍රිය කෑමක්.

ඒත් අපේ බොහොමයක් දෙනා රසවත් ලෙස ටෝෆු සකසාගන්න දන්නේ නෑ. මෙන්න බලන්න, ටෝෆු රසවත් ලෙස හදන විදිහ.

අවශ්‍ය වන්නේ

ටොෆු පැකට් එකක් (කුට්ටියක් ලෙස පැකට් කර ඇති මේවා සුපිරි වෙළෙඳසල්වලින් මිළදී ගත හැකියි.)

තළාගත් සුදු ලූනු, තරමක ලොකු කෑලි කපාගත් බීලූනු, අමු මිරිස් හා තක්කාලි

කුඩාවට කපා ගත් වියළි මිරිස් කරල් 2ක්

කෑලි මිරිස් හා අබ ස්වල්පයක්

සෝයා සෝස් මේස හැඳි 2ක්

දෙහි ඉස්ම ස්වල්පයක්

කෑලි කපාගත් රාබු කොළ කිහිපයක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම ටෝෆු කෑල්ල කොටු ආකාරයට කැබලි කපා ගන්න.

දැන් ඒ ටික පරිස්සමෙන් කැඩෙන්නේ නැතිවෙන්න ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගෙන හොඳින් තෙල් බේරා ගන්න.භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත් වෙනකොට අබ දමා පුපුරුවා ගන්න. එයටම සුදු ලූනු, වියළි මිරිස් කෑලි ටිකත් දාන්න.බැද ගත් ටෝෆු ටික, දෙහි ඉස්ම හා රාබු කොළ හැර ඉතිරි සියලුම දේවල් ටික දමා ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කර ගන්න.

දැන් එයට රාබු කොළ හා ටෝෆු ටික දමා හැන්දකින් හෙමින් මිශ්‍ර කරන්න. අවසානයට දෙහි එකතු කරන්න.(සෝයා සෝස්වල ලුණු අඩංගු නිසා ලුණු එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ)

(Tharunie)