Tuesday, April 23, 2024
Follow Us
කන්න කන්න ආශා හිතෙන මාබල් කේක්

කේක් හදන්න බීටරයක් ඕනෙම නෑ. මේ ලස්සන මාබල් කේක් එක සාදා තියෙන්නේ ලී පත්ත උපකාර කරගෙනයි. අපිත් මෙහෙම හදමු.

අවශ්‍ය දේවල්

බටර් ග්‍රෑම් 300ක්

සීනි ග්‍රෑම් 300ක්

බිත්තර ග්‍රෑම් 300ක් (බිත්තර කිරලා ගන්න)

පිටි ග්‍රෑම් 300ක්

බේකිං පවුඩර් තේ හැඳි දෙකක්

වැනිලා තේ හැඳි දෙකක්

කලරිං තේහැඳි තුනක්

චොකලට් පවුඩර් ස්වල්පයක්

කිරිපිටි හෝ ෆෙරෙෂ් මිල්ක් කෝප්ප බාගයක් (පිටිකිරි නම් මේස හැඳි එකක් උණු වතුරට දමා හදා ගන්න)

 

සාදන ක්‍රමය

 

මුලින්ම බටර් ටික ගෙන දියත් නැති ඝණකමත් නැති ගානට දිය වෙන්න තියන්න.

ඉන්පසුව බෝල් එකකට දමා විනාඩි පහක් පමණ පත්තෙන් මිශ්‍ර කරන්න. දැන් සීනි ටික දමා ආයෙත් මිශ්‍ර කරන්න. එයටම බිත්තර එක එක දමා මිශ්‍ර කරන්න. ඉන්පසු පිටි ටිකට බේකිං පවුඩර් දමා බටර් මිශ්‍රණයට හලා ගන්න. එය ටිකෙන් ටික එකතු කර ගත යුතුයි. පසුව කේක් මිශ්‍රණයේ බුබුළු එනතුරු ලී පත්තෙන් මිශ්‍ර කරන්න. විනාඩි දහයක් පමණ හැඳි ගානවිට මෙසේ බුබුළු නැගීම සිදුවෙයි. කේක් මිශ්‍රණයට වැනිලා දැමීමට පෙර කිරිටික දමා ගන්න. පසුව වැනිලා දමා නැවතත් ලී හැන්දෙන් ටිකක් මිශ්‍ර කරන්න. කලරිං දැමීම සඳහා බෝල් හතරකට කේක් බැටර් එක වෙන් කර ගන්න. දැන් කැමැති වර්ණ හතරක් ගෙන කේක් මිශ්‍රණ සහිත තැටි හතරට බින්දු දෙක දෙක දමා කලවම් කරන්න. ඉන්පසු තෙල් කොළයක් දැමූ කේක් තැටියක් ගෙන කේක් මිශ්‍රණය වර්ණ හතරෙන්ම රවුමට රවුමට ටික ටික තබා උඩට එනතුරු පුරවා ගන්න. අවසානයේ තැටිය දෙපසට සොලවා කේක් මිශ්‍රණය හොඳින් මුලු අතරට බුබුළු යන්න හදන්න. ඉන්පසු සෙල්සියස් අංශ 180න් විනාඩි දහයක් පෙර රත් කරගත් අවන් එකේ විනාඩි තිස්පහක් පමණ බේක් කරගන්න. මේ කාලය අවන් එකෙන් අවන් එකට වෙනස් විය හැකියි. (උඩ යට එලිමන්ට් දෙකම දාන්න)

 

කේක් එකක් සෑදීමේදී ඔබ දැනගත යුතුම කරුණු ටිකක්

කේක් එක මිශ්‍ර කරන විට ලී පත්තෙන් එකම අතට මිශ්‍ර කරන්න. එසේම කේක් එක නිතර ඇරීම නුසුදුසුයි. බටර් දිය වූ පසු කේක් හැදීමත් නොකළ යුතුයි. වැඩි වෙලාවක් කේක් බැටර් එක සාදා එළිමහනේ නොතබන්න. ඉක්මනට බේක් කරන්න. මේ දේවල් නිසා කේක් එක හොඳින් ලස්සන වන්නේ නෑ.


(Tharunie)