Thursday, May 02, 2024
Follow Us
හබල පෙති (පෝහා (Poha)අවල්)

හබල පෙති හදන්නේ රතු හෝ සුදු හාල්වල වීවලිනි. ගොයම් කපා ඉවර වුණාට පස්සේ බිමට වැටුණු වීවලින් පැළ වෙන ගොයම් පැළවලින් හට ගන්නා වී කපා සෝදා ගල්, වැලි ඉවත්කර පැය 24ක් වතුරේ පෙඟෙන්න තියෙනවා.

ඉන්පසු වතුර පෙරා වී ටික කබලේ බදිනවා. මේ බැදපු වී මැෂින්වලින් තළනවා. වී තළන විට පොතු ඉවත් වෙනවා.

මේ ක්‍රියාවලියෙන් පසුව තමයි හබල පෙති සෑදෙන්නේ.

සහල්වලට වඩා ඝනකම අඩු නිසා හබල පෙති ඉක්මනින් පෙඟෙනවා.

හබල පෙති කියන්නේ ඉක්මනින් ජිර්ණය වන ආහාරයක්.

සෑම ග්‍රෑම් 100කම මිලිග්‍රෑම් 20 ක් යකඩ අඩංගුයි. සුදු හබල පෙතිවලට වඩා රතු හබල පෙති පෝෂණයෙන් ඉහළයි.

හබල පෙතිවල කාබෝහයිඩේට්, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, සින්ක්, මැග්නීසියම්, විටමින් B, ඛනිජ ලවණ අඩංගුයි.

දකුණු ඉන්දියානු ක්‍රමයට උදේ හෝ රාත්‍රි ආහාරයට පෝහා රයිස්

 

අවශ්‍ය වන්නේ

 

හබල පෙති පීරිසි කෝප්ප 1ක්

තළාගත් සුූදුලූනු

ගිතෙල් හෝ බටර් මේස හැඳි 2ක්

රටකජු/කජු හෝ ආමන්ඩ් ටිකක්

ලියාගත් ලූණු, අමු මිරිස් හා ඉදුණු තක්කාලි ගෙඩියක්

අබ ස්වල්පයක්

පදමට ලුනු

කහ සහ මිරිස් කුඩු ස්වල්පයක්

සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස් වගේ අපි නූඩ්ල්ස් හදන්න භාවිත කරන ඕනෑම එලවළු වර්ග ටිකක්

ඔබට කැමැති නම් තම්බා ගත් බිත්තර හෝ මස් වර්ගයක් වුවත් එකතුකර ගන්න පුළුවන්.

ලෙමන් යුෂ මේස හැන්දක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයකට පෝහා ටික දමන්න. එයට මඳ රස්නේ වතුර ටිකක් දමා හොඳින් සෝදා ගන්න. නැවත ඇල් වතුරෙන් සෝදා පෝහා පොඩි නොවන සේ අතින් මිරිකා පසෙකින් තබා ගන්න.

දැන් භාජනයක් ළිප තබා එයට ගී හෝ බටර් දමා අබ, තළාගත් සුදුලූනු, බී ලූනු, කරපිංචා, අමු මිරිස්, තක්කාලි, කැරට් සහ ඉතිරි එලවළු වර්ග, තම්බා ගත් බිත්තර හෝ මස්, රට කජු ටික දමා ස්වල්ප වේලාවක් අඩු ගින්දරේ බැද ගන්න. එයට කහ සහ පදමට ලුණු ද මිරිස් කුඩු ද එකතු කරන්න.

දැන් පෝහා ටික එකතු කර හැන්දකින් පොඩි නොවන සේ කලවම්කර අවසානයට ලෙමන් යුෂ එකතුකර ළිප ඕෆ් කරන්න.

මෙය කෑමට හොදි හෝ වෙනත් දෙයක් අවශ්‍ය නෑ. සෝස් වර්ගයක් එක්ක වුණත් කන්න පුළුවන්.

(Tharunie)