Thursday, May 02, 2024
Follow Us
රුලං ෆ්ලැට් බ්‍රෙඩ්

අවශ්‍ය දේවල්

රුලං පිටි ග්‍රෑම් 500ක්

ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක්

ඔලිව් තෙල් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 1ක්

ඊස්ට් ග්‍රෑම් 7ක්

රස අනුව ලුණු

අර්තාපල් අල ග්‍රෑම් 500ක්

ග්‍රේට් කරගත් මොසරැල්ලා

චීස් ග්‍රෑම් 200ක්

 

සාදන ආකාරය

 

අල තම්බා පොඩි කරගන්න.

කිරි යන්තම් රත් කරගන්න.

ඉඩ ඇති භාජනයකට කිරි ටික එකතුකර, එයට සීනි සහ ඊස්ට් දමා කලවම් කර විනාඩි තුනක් පමණ තබන්න.

රුලං පිටි හා ලුණු එකතුකර කලවම් කරගන්න. දැන් කිරි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. පිටි සියල්ල එකතුකර ලී හැන්දකින් කලවම් කර අවසන්වූ පසු, තෙල් ටික ටික එකතු කරමින් අතින් අනන්න.

අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. ඇලෙන ගතිය වැඩියි වගේනම් තව රුලං පිටි මේස හැන්දක්, දෙකක් එකතු කරන්න.

දැන් සාදාගත් පිටි මෝලිය පිරිසුදු රෙද්දකින් වසා පැයක් පමණ තියන්න. ඊස්ට් ක්‍රියාකාරිත්වය හොඳ නම් පැය බාගෙත් ඇති.

පොඩි කරගත් අල එකට

ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් එකතු කරන්න.

දැන් පිපුණු පිටි මෝලිය ඉඩ ඇති ලෑල්ලක් මතට ගෙන රෝල් කර කොටස් හතරකට වෙන් කරගන්න.

අතේ පිටි ටිකක් ගාගෙන ඒ එක කොටස බැගින් අරන් බෝල කරගන්න.

අල සහ චීස් මිශ්‍රණයෙන් බෝල හතරක් සාදා පැත්තකින් තියන්න.

දැන් පිටි බෝලයක් ගෙන තුනීකර ඒ මතට අල චීස් බෝලයක් තබන්න.

ඉන්පසු වටේටම එකතුකර චීස් බෝලය වසාගන්න.

ඉන්පසු අතින් හිමීට තුනීකරන්න.

ඒ විදියට හතරම හදාගන්න.

අවන් එකේ තැබිය හැකි ට්‍රේ එකක් ගෙන ඒ මතට බේකිං පේපර් එකක් එලා සාදාගත් ෆ්ලැට් බ්‍රෙඩ් තබන්න.

ඉන්පසු අතට ඔලිව් තෙල් ටිකක් අරන් ඇඟිලි මඟින් පාන් එක මත තැනින් තැන ගාන්න. වැඩි ලස්සනට වැඩි රසට බිත්තර කහමද ටිකක් උඩින් ගාන්න. ඒක අවශ්‍යම නෑ..

විනාඩි අටකට විතර කලින් රත්කරගත් අවන් එකේ සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

(Tharunie)