Thursday, April 25, 2024
Follow Us
කාමරංකා ව්‍යාංජනය

කාමරංකා ගසක් ඇති බොහෝ නිවෙස්වල ඒවා බිම වැටී අපතේ යනු අපට දැක ගත හැකිය. රසගුණ ඇති පලතුරක් ලෙස කාමරංකා ගැන දැනගෙන සිටිය ද එය ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකි බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි.

තමාගේ නිවෙසේ ගසක් නොමැති වුවත් ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි කාමරංකා ගෙඩි කිහිපයකින් ඔබට මෙය පිළියෙල කරගත හැකියි. එළවළුවක් නිවෙසේ නැති අවස්ථාවක වුවත් ඒ අඩුව පිරවීමට කාමරංකා ගෙඩි කිහිපයක් ඇත්නම් ඔබට ගැටලුවක් පැන නොනගීවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

පැසුණු කාමරංකා ගෙඩි 3ක්

රම්පෙ, කරපිංචා

කුරුඳුපොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

කුඩා ප්‍රමාණයේ බී ලූනු ගෙඩියක් හෝ

රතු ලූනු ගෙඩි දෙක තුනක්

සුදු ලූනු බික් 3ක් පමණ

සූදුරු ස්වල්පයක්

මිරිස් කුඩු තේහැඳි කාලක් පමණ

තුනපහ කුඩු තේහැන්දක ප්‍රමාණයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක් (ඔබ කැමැති

රස ප්‍රමාණයට)

ලුණු රස අනුව

 

පොල් තෙල් මේස හැඳි 2ක්

පොල් කිරි ස්වල්පයක්

 

සාදන ආකාරය:

පළමුව ඇතිළියක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි දෙක දමා රත්වන්නට තබන්න. තෙල් රත් වූ පසුව ලියා ගත් ලූනු, සුදු ලූනු, දමා ඒවා රන්වන් පැහැ වන විට රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් හා සූදුරු එක්කර බැදගන්න. ඉන්පසුව එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු ස්වල්පයක් එක්කර මිශ්‍රණය කලවම් කරන්න.

දැන් එයට වතුර ස්වල්පයක් දමා කපාගත් කාමරංකා ද එයට එකතුකර මිශ්‍ර කරන්න.

ඉන්පසුව එය පියනෙන් වසා මඳගින්නේ තම්බා ගන්න. හොඳින් තැම්බුණු කාමරංකා මිශ්‍රණයට මිටිකිරි ස්වල්පයක් එකතුකර උතුරවා ළිපෙන් ඉවතට ගන්න.

(Tharunie)