ඈ සතු වරලස ඇයට අභිමානයක්, සෞන්දර්යාත්මක බවින් පිරිපුන්කමක් ගෙන දෙයි. තම වරලස කෙරෙහි අසීමිත ආදරයක් දක්වන කෙනකුට හිසකෙස් හැලීම කෙසේ නම් දරාගන්නද?
හිසකෙස් හැලීම පාලනය කිරීමට ඔබ ශරීරයේ අභ්‍යන්තරයට සමබල ආහාර හා ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට අවශ්‍ය වේ. බාහිර පෝෂණ සත්කාර මඟින් හිසකෙස් පාලනය කරන ඔබට පැක් වර්ග, තෙල් වර්ග සහ පිටතින් ලබා දෙන උද්දීපනයන් (සම්බාහනයන්) ප්‍රධාන වේ.
හිස සම්බාහනය
හිස සම්බාහනයෙන් පළමුව සිදු වන්නේ මානසික සැහැල්ලුවයි. සම්බාහන ක්‍රමවේදයන් නිවැරැදිව අනුගමනය කිරීමේදී පළමුව ඉතා මෘදු සම්බාහනයකින් ආරම්භ කිරීමට හේතුව වන්නේත් මෙම කාරණයයි.
සැහැල්ලුව : මෘදු සම්බාහනයකින් සමේ ලිහිල් බව සම්බාහන ක්‍රියාවලිය ආරම්භ කරන ඔබට ලැබෙන ඊළඟ ප්‍රතිඵලය වන්නේ රුධිර සංසරණේ ඇතිවන ක්‍රමවත් බවයි. ක්‍රමවත් රුධිරය සංසරණයක් ඇති කිරීමට මෘදු සම්බාහනයකින් ආරම්භ කිරීම වැදගත් වනවා සේම එය ක්‍රමානුකූලව සහ යම් රිද්මයානුකූල බවකින් යුක්තව සිදු කිරීමටද සැලකිලිමත් විය යුතු වෙයි.
අපද්‍රව්‍ය ඉවත් කිරීම
මෙම සම්බාහනයේ ඊළඟට ලැබෙන ප්‍රතිඵලය වන්නේ සමේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට, එනම්, මැරුණු සෛල ඉවත් කිරීමට සහාය වීමයි. අපද්‍රව්‍ය නොරැඳුණු පැහැදිලි නීරෝගි සමක් මෙමඟින් ලබාගත හැකි වේ.
පෝෂණීය දේ උරා ගැනීමට ඇති හැකියාව
ඔබ භාවිත කරන්නේ ඉහළ මට්ටමේ පෝෂණීය ආලේපනයක් වුවත් හොඳ රුධිර සැපයුමක් රුධිර නාළිකාවලට ලබා නොදෙන්නේ නම් එහි සාර්ථක ප්‍රතිඵල පූර්ණ ලෙස ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත. රුධිර නාළිකාවලට පිටතින් ලබා දෙන උත්තේජනයන් මඟින් උණුසුම් වීම සහ උරාගැනීමේ හැකියාව ඇතිවේ. සම්බාහනයත් සමඟ පෝෂණීය ආලේපන හෝ තෙල් වර්ග භාවිතයෙන් නීරෝගි කෙස් කලඹක් ලබා ගැනීමට හැකිවේ. කෙස්වල ස්වභාවය අනුව බාහිර ආලේපනයට ගන්නා ද්‍රව්‍ය ඒ ඒ අයට ආවේණිකව අවබෝධයෙන් යුතුව වෙනස් කර තෝරා ගැනීමටත් සැලකිලිමත් විය යුතුවේ.
නිවැරදි සම්බාහනය
සම්බාහනය සඳහා නුසුදුසු පුද්ගලයන් කවුද? සම්බාහනය නොකළ යුතු අවස්ථා මොනවාද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
සම්බාහන ශිල්පියාගේ පෞද්ගලික සෞඛ්‍යය,
පිරිසුදුකම, යහපත් මානසික පැවැත්ම, වෘත්තීයට අදාළ දැනුම, සාධාරණ මුදල් අය කිරීම, යහපත් මෘදු කාරුණික වචන, කාර්යයට අදාළ වෘත්තීමය ආරක්ෂිත ඇඳුම් ඇඳීම, කාර්යය කිරීමේදී නුසුදුසු ආභරණ නොපැලඳීම, නියපොතු කෙටි වන සේ කපා තිබීම ආදිය වැදගත් වේ.
සම්බාහනය ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු අනෙක් කාරණාව වන්නේ පරිසරයයි. නිස්කලංක සාමකාමී පිරිසුදු වාතාශ්‍රයකින් යුත් යහපත් වටපිටාවක් සූදානම් කර තිබීම වැදගත් වෙයි. මිහිරි සංගීත රාවයක් ඇසීමට සැලැස්වීම, පරිසරයේ මෘදු සුගන්ධවත් බවක් ඇතිකරදීම ද සේවාදායකයාව මානසික සැහැල්ලුව සඳහා සූදානම් කරදීමට හේතු වේ.
ඇසට අපහසු නොවන පරිදි මඳ ආලෝකය සහ හැකියාවක් ඇත්නම් ස්වාභාවික මල්වලින් පරිසරය සුගන්ධවත් කිරීමටද පුළුවනි. මින් සේවාදායකයා පමණක් නොව කේශලාවණ්‍ය ශිල්පියාද යහපත් මානසිකත්වයකින් යුතුව තම කාර්යය ඉටු කරයි.
හිස්කබල පරීක්ෂා කළ යුතු වන්නේ එහි සැලකිය යුතු මට්ටමේ තුවාල ඇත්නම් එවැනි අය සඳහා සම්බාහන ප්‍රතිකාර කිරීම සුදුසු නොවන නිසයි.
එමෙන්ම කෙස්වල ස්වභාවය පිළිබඳ පරීක්ෂා කර අවබෝධයක් ලබාගෙන නොමැති නම් ප්‍රතිකාරය සඳහා ආලේපනයට ගන්නා ද්‍රව්‍යවලට සාර්ථක ප්‍රතිකාර ළඟා විය නොහැකි වනු ඇත.
යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු නොවන අවස්ථාවලදී
අතිශයින්ම දුර්වල පුද්ගලයින්, තදබල උණ රෝගවලින් පෙළෙන අවස්ථාවල, බෝ වන රෝග වැලඳී ඇති අවස්ථාවල හිස සම්බාහන ප්‍රතිකාරයක් සේවාදායකයා ඉල්ලා සිටියද එවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම ඔබ කළ යුතු දෙයකි.
දරුණු ලෙස පවතින පරපෝෂිත ආසාදන
උකුණන් හිසෙහි පාලනය කළ හැකි තත්ත්වයක පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් මත හෝ එවැනි අවස්ථාවල ප්‍රතිකාර ලබා දී සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සම්බාහන ප්‍රතිකාර කළ හැකියි. එසේ නොමැති විට හිස සම්බාහන ප්‍රතිකාර සිදු කළහොත් සන්සුන් මනසකින් සේවාදායකයාට සම්බාහන ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වනවා සේම කේශලාවණ්‍යාගාරයට පැමිණෙන අනෙකුත් සේවාදායකයින්ට ද බෝ වන පරපෝෂිත ආසාදන අවදානමක් ඇති වෙයි.
පාලනය නොකළ දරුණු හිස්හොරි තත්ත්වයන්
පාලනය කළ හැකි සාමාන්‍ය හිස්හොරි තත්ත්වයක් නම් ඔබ ඒ සඳහා සුදුසු නිෂ්පාදනයම ප්‍රතිකාර සඳහා භාවිත කර එය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත යුතු වේ. එහෙත් උග්‍ර හිස්හොරි තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් අනුගමනය කර එය සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු සම්බාහන ප්‍රතිකාර සඳහා සේවාදායකයාව යොමු කර ගැනීම වැදගත් වේ.
සුළු වශයෙන් හෝ හිස්හොරි තත්ත්ව ඇත්නම් එවැනි සේවාදායකයින් සඳහා ප්‍රතිකාර කිරීමේ දී හිස්හොරි මර්දනය සඳහාම විශේෂිතව නිෂ්පාදනය කරන ලද ද්‍රව්‍ය ආලේපන භාවිත කර ප්‍රතිකාර කළ යුතු වේ.
Tharunie