Saturday, January 11, 2025
Follow Us
ලිප් මේක් අප් එකකින් ඉඟි බිඟි කරන තොල් දෙකක්

සාහිත්‍යකරුවන් කොයි කවුරුත් වගේ දෙතොල් සමාන කළේ නාදලුවලට. එහෙත් නාදලු වැනි පැහැයෙන් යුත් දෙතොල් ඇත්තේ කීයෙන් කී දෙනකුටද?

දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකුට ඇස් දෙක සහ තොල් දෙක මේක් අප් එකකින් වර්ණවත් කළ හැකියි. මේක් අප් එකක අවසානය සනිටුහන් වෙන්නේ ලස්සනට ඇස් මේක් අප් කිරීමෙන් හා තොල් මේක් අප් කිරීමෙනුයි. මේ නිසා තොල් සඳහා කරන ලිප් මේක් අප් එක හරිම වැදගත්. අයි මේක් අප් එක සහ ලිප් මේක් අප් එක සමබරව තිබිය යුතුයි. ඇස ගිලී ඇත්තා මෙන් පෙනෙන Inner corner එනම් නාසය පැත්තට ඇති කොටසේ ආලේප කරන්නේ අයිෂැඩෝවල ළා වර්ණයි.

එම වර්ණයම තොල් සඳහා ආලේප කරයි. එවිට මුහුණට ගෙන එන්නේ විචිත්‍රවත් බවකි.

තොල්වල පිහිටීම එකිනෙකට වෙනස්ය. පැහැදිලිව බෙදුණු උඩු තොල්(M හැඩයේ), පැහැදිලිව බෙදී නැති උඩු තොල්. (Cupid's bow), පිරුණු තොල්, සිහින් තොල්, උඩු තොල සහ යටි තොල එක සමාන ප්‍රමාණයෙන් නොවෙන තොල්... මේ ආදී තොල් වර්ග ගණනාවක් වෙයි. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව එක් එක් තොල්වල හැඩයන්ගෙන් අනාවැකි කීමටද පුළුවනි. ලිප් මේක් අප් එක කළ යුත්තේ ද විවිධ තොල්වල හැඩයන් අනුවයි.

ලිප්බාම් ගැල්වීම

ලිප් මේක් අප් එකකදී පළමුව සිදු කරන්නේ ලිප් බාම් ගැල්වීමයි. මෙහිදී තොල්වලට සිදුවන හානිය අවම වේ. ලිප් බාම් ගැල්විය යුත්තේ යාන්තමටයි. ලිප් බාම් ගල්වා ටිෂූ එකකින් තොල් දෙක යාන්තමට තද කරන්නත් පුළුවන්.

මෙහි මී ඉටි සහ විටමින් සී අඩංගුය. තොල් ආරක්ෂා කර මෘදුකරවයි. මෙය පමණක් හෝ ලිප්ස්ටික්වලට යටින් හෝ ආලේප කළ හැකියි.

ලිප් බාම් එකක් හැම විටම ඉතාම හොඳ තත්ත්වයේ එකක් විය යුතුයි. ලිප්ස්ටික් එක රඳවා ගැනීමට ලිප් බාම් එක උපයෝගී වෙයි.

ලිප් ප්‍රයිමර් එකක් වුව භාවිත කළ හැකියි.

තොලෙහි ෆවුන්ඩේශන් ආලේපය

ඉන්පසු තොල් දෙකේ ෆවුන්ඩේෂන් ආලේප කරන්න. මෙසේ ෆවුන්ඩේෂන් ආලේප කිරීමෙන් ලිප්ස්ටික් එක වැඩි වේලාවක් තොල් දෙකෙහි රඳවා තබා ගත හැකියි.

ලිප් ලයිනර් ගැල්වීම

ලිප් පෙන්සිල් එකක් එහෙමත් නැත්නම් ලිප් ලයිනර් එකක් ගෙන තොලෙහි අවුට් ලයිනර් එක ඇඳගැනීමෙන් තොලෙහි හැඩය ඉස්මතු වෙනවා සේම වඩාත් ආකර්ෂණීය බවක් එක්වේ.

මෙහිදී ලොකු තොලක් කුඩා කිරීමට නම් ලිප්ලයිනර් එක තොල ඇතුළෙන් ඇඳීමත්, කුඩා තොලක් විශාල කර පෙන්වීමට නම් ලිප් ලයිනර් එක තොලෙන් පිටත ඇඳීමත් සිදුකරයි. ලිප්ස්ටික් එකට ගැළපෙන වර්ණයකින් ලිප්ලයිනර් එක ඇඳ ගත යුතුයි.

ලිප්ස්ටික් ආලේපය

* ඇඳුමේ පාට

* සහභාගි වන උත්සව අවස්ථාව

* එය ඇත්තේ දිවා කාලයේ ද රාත්‍රී කාලයේද

* කෘත්‍රිම ලයිට් එළියට අනුව

ගල්වන ලිප්ස්ටික් එකේ වර්ණය වෙනස් වේ.

රූපලාවණ්‍ය ශිල්පියකුට ලිප්ස්ටික් කලර් කාඩ් එක පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අවශ්‍ය වර්ණක සහිතව වැක්ස් හෝ තෙල් වර්ගවලින් නිපදවා ඇත. තොල් මෘදුව සහ සිනිඳුව තබා ගැනීම සඳහා තෙත්කාරකද අඩංගුය. ඔබට මැට් හෝ තදින්ම දිලිසෙන වර්ණවලින් ලිප්ස්ටික් ලබා ගත හැකියි.

Liquid ලිප්ස්ටික්

මෙය ගැල්වීම තරමක් ප්‍රවේශමෙන් කළ යුතුයි. එහෙත් ඉන් මනා නිමාවක් ලබාදේ.

අඳුරු වර්ණ ඔබේ තොල් සිහින් කර පෙන්වන අතර ළා වර්ණ තොල්වලට පිරුණු ස්වභාවයක් ගෙන දෙයි. මැට් නිමාවක් සහිත ලිප්ස්ටික් භාවිතයෙන් තොල්වලට සිහින් ස්වභාවයක් ගෙන දෙන අතර ග්ලොස් වර්ණ හෙවත් දිලිසෙන වර්ණ භාවිතයෙන් තොල්වලට පිරුණු ස්වභාවයක් ලැබේ.

ලිප් ටින්ට්

මේවා මඟින් තොල් වර්ණ ගැන්වෙන අතර එම වර්ණ දිගු කාලයක් පවතී. විවිධ වර්ණවලින් ලබාගත හැකි අතර ග්ලිසරින් සහ ජලය යොදා සාදා ඇත.

ලිප් ග්ලොස් ආලේපය

ලිප් ග්ලෝස් ආලේපයෙන් තොල් දෙකට දිලිසෙන බවක් එක්වේ. විවිධ වර්ණවලින් ලබාගත හැකියි. ග්ලොස් පමණක් හෝ ලිප්ස්ටික් වලට උඩින් හෝ ආලේප කළ හැකියි. තද දිලිසෙන ස්වභාවය වැඩි වෙලාවක් නොපවතී. එහෙත් මනාලියන්ට නම් ලිප්ලොස් භාවිත කිරීම සුදුසු නැත. ඔවුන්ට භාවිත කරන්නේ මැට් වර්ණයි.

ලිප් මේක් අප් එක අවසානයේ කට වටේම ගෑවෙන්නට පුළුවනි. එවිට කොන්ටුවර් බ්‍රෂ් එකක් ගෙන පවුඩර් ටිකක් දමා හෙමින් සීරුවට පිසදා ගත හැකියි.

 

Tharunie