Thursday, September 12, 2024
Follow Us
වයිට් කලර් හෙයාර් එකට ටටා බායි

බාල මහලු හැමෝටම විශාල ආතතියක් ඇති කරවන කරුණක් තමයි අකලට හිසකෙස් පැසීම. (Premature gray hair) අකලට හිසකෙස් පැසීම විවිධ ජාතීන්ට අනුව අර්ථ දක්වන්න පුළුවන්.

* සුදු සමක් ඇති අයට (Caucasian skin) අවුරුදු 20ට කලින් හිසකෙස් සුදු වේ නම්,

* දුඹුරු පැහැති සමක් ඇති ආසියාතික ඒ කියන්නෙ මේ අපේ වගේ සමක් ඇති අයට (Asian Skin) අවුරුදු 25ට කලින් හිසකෙස් සුදු වේ නම්,

* වර්ණක හොඳින් තියෙන (Negroid skin) එනම් අප්‍රිකානු අයට අවුරුදු 30ට කලින් හිසකෙස් සුදුවේ නම්,

අපි කියනවා අකලට හිසකෙස් පැහෙනවා කියලා

අකලට හිසකෙස් සුදු වීමට බලපාන කරුණු මොනවද?

හැම රෝගයකටම වගේ අකලට හිසකෙස් පැසීමටත් ජානමය බලපෑමක් තියෙනවා. මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ අයට ඉතා අඩු වයසේ දී හිසකෙස් සුදු වීමක් තිබුණේ නම් ඔබටත් ඉතා අඩු වයසේදීම හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

ඒ වගේම අපගේ පෝෂණයේ අැතිවන ඌනතා එනම්, දීර්ඝකාලීනව ප්‍රෝටීන් අඩු වීම, යකඩ, සින්ක්, තඹ, විටමින් D2 වැනි විටමින් අඩු වීම මෙයට බලපාන්න පුළුවන්. ඒ වගේම විටමින් D හා කැල්සියම් අඩුු වීමත් මේ අකලට හිසකෙස් පැසීමට බලපානවා. ඒ වගේම තමයි අපි නිරන්තරයෙන් මුහුණ දෙන පරිසර දූෂණය. එනම් ජලය, වාතය, යන මේ හැම දෙයක්ම නිසා අපගේ ශරීරයේම පරමාණුක ඔක්සිජන් මඟින් සිදුවන හානිය වැඩි වෙන්න වැඩි වෙන්න වයසට යෑමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම හිසකෙස් සුදු වීමටත් බලපානවා.

ඒ වගේම නිරන්තරයෙන් දුම්පානය, මද්‍යසාර භාවිතය, විවිධ ඖෂධ හේතුවෙන් ද අකලට හිසකෙස් සුදු වීමට පුළුවන්. ඒ වගේම පීනස ගතිය තියෙන අයටත් මේ අකලට හිසකෙස් සුදු වීමට පුළුවන්.

අපි හැමෝම ආසයි අපේ කොණ්ඩෙ ලස්සනට තියාගන්න. වර්තමානය වන විට මේක හීනයක් වෙලා තියෙනවා. මේ අකලට හිසකෙස් සුදු වීම කියන තත්ත්වයට අපිට ස්වාභාවිකව කළුකර ගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

කෘත්‍රිම දේවල් අත්හදා බලනවා වෙනුවට ඉවසීමෙන් මේ ස්වාභාවික සත්කාරකර ද බලන්න අපිට පුළුවන්.

අපි මේ ස්වාභාවික සත්කාර මොනව ද කියලා බලමු.

1. ලූනු සත්කාරය

ලූනු කියන්නේ කොණ්ඩයට ඉතාමත්ම ගුණදායක දෙයක්. ලූනු මඟින් අපේ හිස් කබලේ අාසාදන සුවකර හිස පිරිසුදු කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි හිස් කබල මත හිසකෙස් වර්ධනයවන කේශ කුහර උත්තේජනය කිරීම ද ලූනු මඟින් සිදු කරනවා. මේ සියල්ල නිසා හිසකෙස් එන්සයිම නිසි ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් අකලට සුදු වීමේ ක්‍රියාවලිය නතර වෙලා නැවත හිසකෙස් කළු වී වැවෙන්න පටන් ගන්නවා.

සත්කාරය කරන පිළිවෙළ

ලොකු ලූනු ගෙඩි 3ක් පමණ හොඳින් සෝදා පොතු හැර කුඩා කැබැලිවලට කපාගන්න. එය බ්ලෙන්ඩර්කර හොඳින් පෙරා යුෂ ටික වෙන්කර ගන්න. එම යුෂ හොඳින් මුළු හිස්කබල පුරාම ගල්වා ඉතා සෙමින් සම්භාහනයකර බේබි ෂැම්පු වර්ගයක් භාවිතකර සෝදා ගන්න. මෙය සතියට දින තුනක්වත් සිදුකළ යුතු අතර මාස 3ක් පමණ නිවැරැදිව නොකඩවා සිදු කිරීම මඟින් සුදු වූ හිසකෙස් කළු පැහැයට හැරෙනවා බලා ගැනීමට පුළුවන්.

02. පොල්තෙල් හා ලෙමන් යුෂ සත්කාරය

ඇත්තටම ශ්‍රී ලංකික අපිට නම් පොල්තෙල් සතු ඉහළ පෝෂණ ගුණය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. තවමත් බොහෝ දෙනෙක් පොල්තෙල් හිසේ ආලේප කරන්න යොදා ගන්නවා. නමුත් පිරිසුදු පොල්තෙල් එක්ක ලෙමන් යුෂ මිශ්‍රකරලා හිසේ ආලේප කිරීමෙන් පැසුණු හිසකෙස් යළි කාල වර්ණයට ගෙන එනවා.

පොල්තෙල්වල අඩංගු පෝෂ්‍ය ගුණයෙන් අනූන ෆෝලික් අම්ලය (Folic acid) මඟින් හා ලෙමන් සතු හා ඉහළ විටමින් c හා පොස්පරස් සංයුතිය මේකට බලපානවා.

සත්කාරය කරන පිළිවෙළ

ලෙමන් හෝ දෙහි යුෂ තේ හැඳි 3ක ප්‍රමාණයකට ප්‍රමාණවත් තරම් පොල්තෙල් මිශ්‍රකර හිස් කබලේ ආලේප කරන්න. මෘදු ලෙස හිස් කබල සම්බාහනයකර පැයක් පමණ තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. මෙය සතියකට එක වරක් කරන්න.

කරපිංචා සත්කාරය

කරපිංචා කියන්නේ හිසකෙස් සඳහා ඉතාමත් හොඳ සත්කාරයක්. කරපිංචා විසින් ලැබෙන වාසි කිහිපයක්ම තියෙනවා.

හිස්හොරි ආසාදන සුව වීම, කෙස්වල ඝනකම වැඩි වීම හා අකලට සුදු වූ හිසකෙස් නැවත කාල වර්ණ වීමයි.

සත්කාරය කරන පිළිවෙළ

කිනිති 5ක පමණ කරපිංචා ප්‍රමාණයක් හා උළුහාල් මේස හැන්දක ප්‍රමාණයක් කබලේ බැදගන්න. බ්ලෙන්ඩරයක දමා කරපිංචා හා උළුහාල් කුඩුකර ගන්න. කුඩුකර ගත් කරපිංචා හා උළුහාල් පොල්තෙල් සමඟ මඳ ගින්නේ විනාඩි 5ක් පමණ රත්කර ගන්න. මෙය Double Boil කර ගැනීමට හැකිනම් වඩා හොඳයි. මෙය නිවෙන්නට හැර හිස් කබලේ හොඳින් ආ‍ෙල්පකර විනාඩි 5ක් පමණ මෘදුව සම්බාහනය කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.

ඉතින් එහෙනම් අපි ඔබට අකලට සුදු වූ හිසකෙස් නැවත කාලවර්ණය පත්කර ගැනීමට හැකි ස්වාභාවික ශාකමය සත්කාර ඉදිරිපත් කළා.

හැමදාම කියනවා වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම නිෂ්පාදනවලට වඩා මේ වගේ ස්වාභාවික වට්ටෝරු හැම අතින්ම ආරක්ෂිතයි. ඒ වගේම සාර්ථකයි. හැබැයි කෘත්‍රිම දේවල්වලින් ලැබෙනවා වගේ ක්ෂණික ප්‍රතිඵල නම් මේ ස්වාභාවික වට්ටෝරුවලින් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම වශයෙන්වත් පාවිච්චි කිරීමෙන් තමයි ස්ථාවර ප්‍රතිඵල ලැබෙන්නේ.

කෘත්‍රිම දේවල් මඟින් වගේ ප්‍රතිඵල ලැබිලා අතුරු ආබාධත් ඇති වෙන්නේ නැහැ.

අහිතකර රසානික ද්‍රව්‍ය ශරීරයේ උලාගන්නෙ නැතුව ස්වාභාවික දේවල්වලින් ප්‍රයෝජන ගන්න ඔන්න අපිත් පුරුදු වෙමු.

Tharunie