Saturday, September 07, 2024
Follow Us
ආවට ගියාට නොදන්න තැන්වලින් ටැටූ ගහන්න යන්න එපා

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා.

පච්චයක් එහෙමත් නැත්නම් ටැටූ එකක් ගහනවා කියන්නේ අපේ රටේ නම් ටිකක් වැඩි කතාබහට ලක් වෙන දෙයක්. මෑත කාලයේදී නම් මේ ටැටූ ගහන එක ටිකක් වැඩියෙන් ජනප්‍රිය වුණාට ගොඩ දෙනෙක් හිතාගෙන පච්චයක් ගහලා නම් ඒ කෙනා රස්තියාදුකාරයෙක් කියලා. කොහොම වුණත් ලෝකයේ අනිත් රටවල්වල බොහෝ සෙයින් ප්‍රචලිත මේ ටැටූ එක හරිම සුන්දර කලාවක්. කවදාහරි ටැටූ එකක් ගහ ගන්න එක ඔයාගෙත් හීනයක් නම් ටැටූ එකක් ගහන්න කලින් මේ දේවල් ටික සලකලා බලන්න.

ටැටූ එක ගහන්නේ කොහේද?

ඔයාගේ ශරීරයේ ඕනෙම තැනක ඔයාට ටැටූ එකක් ගහගන්න පුළුවන්. හැබැයි ඔයා ටැටූ එක ගහන්නේ කොහෙද කියන එක හොඳට කල්පනා කරලා ගන්න ඕනේ තීරණයක්. අපේ ශරීරයේ සමහර තැන් ති‍ෙයනවා හරිම සංවේදී. ඒ තැන්වල ටැටූ එකක් ගහද්දි හරියට පරෙස්සම් වෙන්න ඕනේ.

ඒ වගේ හරිම සංවේදී ප්‍රදේශයක් තමයි රහස් අවයව. (Genitals) මේ වගේ ප්‍රදේශයක ටැටූ එකක් ගහලා ඒ ටැටූ එක බැක්ටීරියා ආසාදනයක් වුණොත් එහෙම ඔයාලට ලොකු ප්‍රශ්නයක් වේවි.

ටැටූ එක ගහන්නේ කොහෙද කියලා තීරණය කළාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ගැළපෙන මෝස්තරයක් තෝරා ගන්න එක. ඔයා ගහගන්න ටැටූ එකත් එක්ක ඔයාලාට ජීවිත කාලයම ඉන්න වෙනවා. ටැටූ අයින් කරන්න විවිධ ක්‍රම තිබ්බත් ඒවා හරිම මිල අධිකයි. ඒ වගේම තමයි ටැටූ එකක් ගහනවාට වඩා වේදනාවත් වැඩියි. ඔයාලට ටැටූ එක හරි නෑ කියලා හිතු‍ෙණාත් කරන්න තියෙන හොඳම දේ තමයි වෙන ටැටූ එකකින් කළින් ගහ ගත්ත ටැටූ එක හංගන එක. මේ හේතු හින්දා එකපාරට හිතුණු ගමන් ටැටූ ගහන්න යන්න එපා. හොඳට හිතලා බලලා ටැටූ එක ගහගන්න. ගොඩක් වෙලාවට ඔයාලගේ පළමු වැනි ටැටූ එක පොඩි එකක් නම් ගොඩාක් හොඳයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලොකු ටැටූ එකක් ගහන්න ඔයාලට පුළුවන්ද, ඔයාලා මේ තීන්තවලට ඇලජික්ද වගේ දේවල්.

මොන වගේ ටැටූ ගහන තැනක්ද හොඳ?

ඔයා මොන විදිහේ ටැටූ එකක් තෝරා ගත්තත් ටැටූ එකේ ලස්සන රඳා පවතින්නේ ටැටූ එක ගහන කෙනා මත. ඒක හින්දා හොඳ දැනුමක්, හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් මේ සඳහා තෝරා ගන්න. ඒ වගේම තමයි මේ ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිතද කියලත් බලන්න ඕනේ. අඩු ගාණට ටැටූ ගහන තැන්වලට යන්න එපා. ගාණ ටිකක් වැඩි වුණාත් කමක් නෑ හොඳ තැනකට යන්න.

ටැටූ එක ගහන වෙලාවට

ටැටූ එක ගහන්න ගියහම ඔයා ටැටූ එක ගහන තැන අනුව ඔයාට පහසු විදිහට ඉඳගන්න. ටැටූ එක ගහන්න පටන් ගත්තහම පුළුවන් තරම් වැඩිය හෙළවෙන්නේ නැතුව ඉන්න බලන්න. කවුරු කොහොම කිව්වත් ටැටූ එකක් ගහනවා කියන්නේ හරිම වේදනාකාරී දෙයක්. මේ වේදනාව දරා ගන්න ප්‍රමාණය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. සමහර අය නම් ටැටූ එක ගහන්න කලින් හිරි වැටෙන ක්‍රීම් එකක් ගාගෙන යනවා. හැබැයි සමහර ටැටූ ගහන අය කැමති නෑ මේ විදිහේ ක්‍රීම් එකක් ගානවට. මොකද සමහර වෙලාවට මේ ක්‍රීම් එකෙන් ඒ ප්‍රදේශයේ හමේ පොඩි පොඩි වෙනස්කම් ඇති කළොත් ඒක ටැටූ එකේ නිමාවට බලපාන්න පුළුවන්. ඒක හින්දා හිරි වැටෙන ක්‍රීම් එකක් ගාන්න කලින් ඔයාගේ ටැටූ එක ගහන කෙනත් එක්ක ඒ ගැන කතා කරලා බලන්න. ඔයාට මේ වේදනාව දරාගෙන ඉන්න බැරි නම් හරි නැත්නම් පොඩි වෙලාවකට විවේකයක් ගන්න ඕනේ නම් හරි ඒ ගැන ටැටූ එක ගහන කෙනාට දන්වන්න.

ඔයාගේ අවධානය වෙන අතකට හරවන්න

ටැටූ එකේ වේදනාව ඔයාට වැඩියෙන්ම දැනෙන්නේ ඔයා ඒ ගැනම කල්පනා කර කර ඉන්න ගියොත් තමයි. ඒක හින්දා ටැටූ එක ගහලා ඉවර වෙනකම් ඔයාගේ අවධානය වෙන අතකට හරවන්න පුළුවන් දෙයක් කරන්න. ඔයාගේ යාළුවෙක් ඔයා ළඟ ඉන්නවනම් එයත් එක්ක කතා කරන්න. ඔයාගේ ෆෝන් එකෙන් සින්දුවක් අහන්න. ෆිල්ම් එකක් බලන්න. ඔයාගේ ළඟ යාළුවෙක් නැත්නම් ටැටූ එක ගහන කෙනත් එක්ක කතා කරනවද නැද්ද කියන එක ඔයා එතැනදී හිතලා බලන්න ඕනේ. මොකද සමහර ටැටූ ගහන අය කැමතියි ඔයත් එක්ක කතා කරන ගමන් ටැටූ එක ගහන්න. හැබැයි සමහර අය ටැටූ එක ගහන ගමන් කතා කරන්න කැමති නෑ. එයාලා සම්පූර්ණ අවධානය ටැටූ එක ගහන එකට යොමු කරන්න තමා කැමති. තවත් වැදගත් දෙයක් තමයි ටැටූ එක ගහන දවසට කලින් දවසේ රෑ හොඳට නිදා ගන්න. ටැටූ එක ගහන දවසට හොඳට බඩ පිරෙන්න කාලා හොඳට වතුර බීලා යන්න.

ටැටූ එක ගැහුවට පස්සේ

ටැටූ එක ගහලා එතැනින් එළියට ආවට පස්සේ ඔයාගේ ටැටූ එකේ වැඩේ එතැනින් ඉවර නෑ. මේ ටැටූ එක සුව වෙනකම් අාසාදනය නොවී තියා ගන්න ඔයාට සෑහෙන දෙයක් කරන්න වෙනවා. ටැටූ එකක් හොඳටම සුව වෙන්න දේවල් කීපයක් බලපානවා. ටැටූ එකේ විශාලත්වය, හැඩය, යොදා ගෙන තියෙන වර්ණ ප්‍රමාණය, ටැටූ එක ගහපු ස්ථානය වගේම එක එක්කෙනාගේ ශරීරයේ තුවාල හොඳ වෙන වේගයත් මේකට බලපානවා. මේ කරුණුවලට අමතරව ඔයාලා ටැටූ එක ගහලා තියෙන්නේ නිතරම නැමෙන දිග ඇරෙන සහ ඇදෙන තැන්වල නම් මේ ටැටූ එකක් සුව වෙන්න සාමාන්‍ය ටැටූ එකකට වඩා වැඩි කාලයක් ගත වෙනවා.

( දණහිස්, වැළමිට, වළලුකර) ටැටූ එක ආසාදනය නොවී සුවකර ගන්න කරන්න ඕනේ දේවල් පටන් ගන්නේ ටැටූ එක ගහලා ඉවර වුණ මොහොතේ ඉඳන්. ඔයාලගේ ටැටූ එක ඉක්මනින් සුවකර ගන්න කරන්න සුදුසු දේවල් සහ නොසුදුසු දේවල් තමයි මේ පහතින් තියෙන්නේ.

කළ යුතු දේවල්

ගෙදර ඇවිත් පැය 4 - 5 පස්සේ ටැටූ කවර් එක අයින් කරලා එතැන පරෙස්සමට සෝදන්න. ටැටූ එක සෝදන්න විෂබීජනාශක සබන් වර්ගයක් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම තමයි ටැටූ එක සේදුවට පස්සේ හොඳට එතැන වතුර ටික පිහ දාන්න ඕනේ. එතැන තුවාවලින් තදට පිහදාන්න එපා. ටිෂු එකකින් හෙමින් සැරේ තෙත හින්දන්න. ටැටූ එක තියෙන තැන පොඩ්ඩක්වත් අතුල්ලන්න යන්න එපා. ටැටූ එක ගහපු තැන හොඳ වෙනකම් හොඳ කොලිටි ටැටු ක්‍රීම් එකක් ගාන්න. ටැටූ එක ඉක්මනට හොඳ වෙන්න උදව් වෙන්න හැම වෙලේම සමබර ආහාර වේලක් ගන්න. ටැටූ එක හොඳටම හොඳ වෙනකම් ඔයාගේ ඇඳුම්, බෙඩ් ශීට්, තුවා වගේ දේවල් හැමවෙලේම පිරිසුදුව තියා ගන්න. ටැටූ එකට හිරවෙන ඇඳුම් අදින්න එපා. ටැටූ එක ආසාදනය වෙලා වගේ ඔයාලට හිතෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පතන්න.

නොකළ යුතු දේවල්

ටැටූ එක ගහලා අඩුම ගානේ සති දෙකක්වත් යනකම් පිහිනුම් තටාකවල, මුහුදේ, වැව්, ගංගාවල නාන්න යන්න එපා. මේ තැන්වලින් ගොඩක් වෙලාවට ඔයාලගේ ටැටූ එකට විෂබීජ යන්න පුළුවන්. ටැටූ එක ගහපු ස්ථානය කෙළින්ම ඉර අව්වට නිරාවරණය කරන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ ටැටූ එකේ හැඩය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැම වෙලේම සැහැල්ලු ඇඳුම් ඇඳලා ටැටූ එකට හොඳට වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. ටැටූ එක හොඳ වෙනකම් වැඩිපුර දහඩිය දමන කටයුතුවල යෙදෙන්න එපා. වැඩිපුර දහඩිය මගින් ඔයාලගේ ටැටූ එක අාසාදනය වෙන්න පුළුවන්. ටැටූ එක උඩ සම තද වෙලා හෝ සම වේළිලා කෑලි කැඩෙනවා වගේ වුණොත් බය වෙන්න එපා. මේ තත්ත්වය සාමාන්‍යයි. මේ සමේ කෑලි කොයි වෙලාවකවත් ඇදලා ගලවන්න යන්න එපා. ඒක නිකම්ම හොඳ වෙලා යයි. මේ විදිහට හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙලා ටැටූ එකක් ගැහුවොත් ඔබේ පෙනුමට කදිම වෙනසක් එකතුකර ගත හැකියි.

Tharunie