Saturday, September 07, 2024
Follow Us
දෙපාවලට දෙවැනි තැන දෙන්න එපා

ඔයා මෙච්චර කාලයක් හිතුවේ අත්වල ලස්සන ගැන විතරද? පාදවල ලස්සන ගැන හිතුවෙම නැද්ද? ඔයා දන්නවද, පිරිමි උදවිය ගැහැනුන්ගේ පාදවල ලස්සන පිළිබඳ වඩාත් උනන්දුයි කියලා.

රූපලාවණ්‍ය ලෝකයේ පෙඩිකියු සත්කාරය වෙන්වන්නේම පාදවල පිරිසුදු බව හා හැඩවැඩ සඳහාමයි.

සැලෝන් එකක පෙඩිකියු සත්කාරය කෙරෙන වැඩපිළිවෙළ පිළිබඳ, සේවාදායකයා ඒ ඔස්සේ තෘප්තිමත් කරවන්නේ කොහොමද? .... ඒ ගැන අපි අද කතා කරමු.

මේ සඳහා ජීවානුහරණය කරන ලද භාණ්ඩ හා උපකරණ තෝරා ගන්න. ප්‍රමිතියෙන් යුක්ත කල් ඉකුත් නොවූ ආලේපන තෝරා ගැනීමට වග බලා ගන්න.

අවශ්‍ය දෑ

* පෙඩිකියු සෙට් එකක්

* සම්බාහන ආලේපයක්

* ස්ක්‍රබ් වර්ගයක්

* කියුටිකල් ක්‍රීම්

* පැක් වර්ගයක්

* කියුටෙක්ස් රිමූවර්

* මූලික ආලේපය(Base code)

* නිය ආලේපය(cutex)

* අවසන් ආලේපය(Top code)

* හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

* නියපොතු විදුලි වියළනය

* පුලුන්

* අපද්‍රව්‍ය දමන බඳුනක්

* මඳ උණුසුම් වතුර

පෙර සූදානම

* මේසය විෂබීජ නාශකයකින් පිසදමන්න.

* ඒ මත පිරිසුදු තුවායක් එළන්න.

* තවත් තුවා දෙකක් ගන්න.

* නිය සහ කකුල පිරිසුදු කරන උපකරණයට(Foot spa) විෂබීජ නාශක සබන් වර්ගයක් දිය කරන ලද මඳ උණුසුම් වතුර දමා ගන්න.

* තවත් භාජනයකට පිරිසුදු උණුසුම් වතුර ගන්න.

* පෙඩිකියු සෙට් එක ගන්න.

* පුලුන් බෝල සකස් කරගන්න.

* තමාට ගැනීමට පහසුවන ලෙස ආලේපන සහ උපකරණ ළඟ තබා ගන්න.

සේවාදායකයා පෙඩිකියු සත්කාරය සඳහා සූදානම් කිරීම

* සේවාදායකයාගේ නිය අලංකාර කිරීමට සූදානම් කළ මේසය අසල සුවපහසු ලෙස අසුන්ගන්වන්න.

* දිග කලිසමක් ඇඳ සිටී නම් කලිසම් කකුල පොඩි නොවන ලෙස උඩට දමන්න.

* දෙපා අපිරිසුදු දැයි පරීක්ෂා කරන්න.

දෙපා සහ දෙපාවල නිය පිරිසුදු කිරීම

* දෙපා සෝදන උපකරණයට වතුර දමන්න.

* විෂබීජ නාශකයක් සබන් සහ මඳ උණුසුම් වතුර දමා උපකරණය ක්‍රියාත්මක කර විෂබීජ නාශකය දිය කරගන්න.

* සේවාදායකයාගේ දෙපා, දෙපා සෝදන උපකරණයට දමන්න.

* උපකරණය ක්‍රියාත්මක කරන්න.

* උපකරණය ක්‍රියා විරහිතකර වම් කකුල වතුරෙන් පිටතට ගෙන පිස දමා ගන්න.

* වියළි තුවායකින් ඔතන්න.

* දකුණු කකුලද වතුරෙන් පිටතට ගෙන පිස දමන්න.

ආලේපකර ඇති ආලේපන ඉවත් කිරීම

මෙහිදී සේවාදායකයාගේ දෙපාවල නියමත කලින් ආලේප කළ නිය ආලේපන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදුවේ.

* පළමුව සේවාදායකයාගේ වම් කකුල ගන්න.

* වම් කකුලේ සුළැඟිල්ලේ නියපොත්ත මත කියුටෙක්ස්වලින් පෙඟවූ පුලුන් කැබැල්ල තබන්න.

* පුලුන් කැබැල්ල නියපොත්ත මත තදකර පහළට ඇද කලින් ගැල්වූ නිය ආලේපන ඉවත් කරන්න.

* මේ ආකාරයට දකුණු කකුලේ සුළැඟිල්ලේ නියපොතු දක්වා නිය ආලේපන ඉවත් කරන්න.

* ඔරෙන්ජ් ස්ටික් එකක පුලුන් දවටන්න.

* කියුටෙක්ස් රිමුවර්වලින් පොඟවන්න.

* නිය කණු අතර සහ කියුටිකල් අතර ඇති ආලේපන ඉවත් කරන්න.

* හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වල පොඟවා නියකණු අතර ඇති සහ කියුටිකල් අතර හොඳින් පිරිසුදු කරන්න.

නියපොතු කැපීම සහ හැඩගැන්වීම

* නියපොතු කැපීම සිදු කළ යුතු වන්නේ සේවාදායකයාගේ කකුලේ නියපොතු සමෙන් ඇතුළත සිටින සේය.

* නියපොත්ත කැපීමේදී කෙළින් කැපිය යුතුයි. නියපොත්ත සහ නිය කණුව අතර හිඩැස් ඇති නොවන පරිදි කැපියුතුයි.

* කකුලේ නියපොතු ඝනකම් නිසා වතුරේ පොඟවා කැපීම කළ හැකියි.

පියවරයන්

*සේවාදායකයාගේ කකුලේ නියපොතුවල උස පරීක්ෂා කරන්න.

* වම් කකුලේ සුළැඟිල්ලේ නියපොත්ත නියපොතු කපන උපකරණය භාවිත කර නියපොතු කෑලි විසි නොවන අයුරින් කපන්න.

* මේ ආකාරයට මාපට ඇඟිල්ල දක්වා කපන්න.

* දකුණු කකුලෙත් මාපට ඇඟිල්ල සිට සුළැඟිල්ල දක්වා නියපොතු කපන්න.

* නියපොතු හැඩ කරන උපකරණය භාවිත කර නියපොතු හැඩ කරගන්න.

මැරුණු කියුටිකල් ඉවත් කිරීම

* සේවාදායකයාගේ වම් කකුලේ සුළැඟිල්ලේ සිට දකුණු කකුලේ සුළැඟිල්ල දක්වා කියුටිකල් ක්‍රීම් තවරන්න.

* කියුටිකල් පුෂර් එකකින් කියුටිකල් ආපස්සට තල්ලු කරන්න.

* නිය කණු හෝ කියුටිකල් අතර සමට හානි නොවන පරිදි කියුටිකල් ආපස්සට තල්ලු කරන්න.

* කියුටිකල් කපන කතුර භාවිතකර කියුටිකල් ප්‍රවේශමෙන් කපන්න.

දෙපා ස්ක්‍රබ් කිරීම

මෙහිදී දෙපාවල මැරුණු සම ඉවත්වේ.

* සේවාදායකයාගේ වම් කකුලේ ස්ක්‍රබ් වර්ගයක් ආලේප කරන්න.

* විනාඩි පහක් පමණ තිබෙන්නට හරින්න. දෙපා රවුමට සම්බාහනය කරන්න.

* තෙත පුලුන්වලින් ස්ක්‍රබ් ඉවත් කරන්න.

* දකුණු කකුලට ද මෙම පියවරයන් අනුගමනය කරන්න.

දෙපා පැහැපත් කිරීම

මෙහිදී පැක් වර්ගයක් යොදාගනියි. බ්ලීචින් පැක් වර්ගයක් සේවාදායකයාගේ වළලු කරට මඳක් ඉහළ සිට දෙපාවල ආලේප කරන්න. විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර තෙත පුලුන්වලින් නිය ආලේපන ඉවත් කරන්න.

දෙපා නිවැරැදිව සම්බාහනය

සේවාදායකයාට අපහසුවක් නොවන පරිදි නිවැරැදිව දෙපා සම්බාහනය කරන්න.

උණුසුම් තුවා භාවිතකර දෙපා හා නිය පිරිසුදු කිරීම

* තුවාය උණුසුම් වතුර භාජනයකට දමා වතුර මිරිකා හරින්න. උණුසුම සුදුසු දැයි පරීක්ෂා කරන්න සේවාදායකයාගේ වම් කකුල ගෙන උණුසුම් තුවාලයෙන් පිස පිරිසිදු කරන්න.

මේ ආකාරයට දකුණු කකුලද පිරිසුදු කරන්න. කකුල් දෙකේ ඇඟිලි අතරින් ඇඟිලි ඈත්වීමට දමන උපකරණය දමන්න.

නිය ආලේපන ගැල්වීම

නියපොත්තේ සෑම තැනම ඒකාකාරීව නිය ආලේපන ගැල්විය යුතුයි. නියපොත්ත වටේ නිය කණු, කියුටිකල්වල ආලේපන නොගැල්විය යුතුයි.

 

Tharunie