Sunday, September 08, 2024
Follow Us
පොඩි පොඩි ක්‍රමවලින් ගෙදර ඉඳන්ම සුදු වෙමු

නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගැහැනු ළමයකුගේ හීනයක්. හැබැයි හීන බලපු පළියට තමන්ට දිදුලන සමක් අයිති කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක්ම තමයි.

ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, එසේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමිවුණා වුව ද එය එලෙසම දිගුකලක් රැක ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න සිදු වෙනවා.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 35න් පසු කාන්තාවකගේ සමේ විවිධ වෙනස්වීම් සිදු වෙනවා. සමහරුන්ගේ සම වියළිව ඉරිතැළෙන විට තවත් සමහරුන්ගේ සමේ තෙල් ගතිය වැඩි වී කුරුලෑ සහ බිබිලි හටගන්නට පටන් ගන්නවා. ඒ නිසා ෆේෂල් එකක් සිදුකර ගැනීමෙන් වයසත් සමඟ සමේ ඇතිවන ගැටලු නැතිකර, සුන්දර මුහුණක් හිමිකර ගන්න පුළුවන්.

ෆේස් වොෂ් හෝ සබන් භාවිතයෙන් මුහුණට 100% ක සුමුදු බවක්, සුපිරිසුදු බවක් සහ දීප්තියක් ලැබෙන්නේ නැහැ. මේ නිසා කාන්තා මුහුණකට සැබෑ සොඳුරු බව මතුකර ගන්නට නම් ෆේෂල් එකක්කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා.

 ෆේෂල් එකකින් මුහුණට අත්වන වාසි

ෆේෂල් එකක් කිරීමෙන් මුහුණට 100% ක පිරිසුදුභාවයක් ලැබෙනවා. මුහුණේ සම මත ඇති පියවි ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග, පුස් වර්ග, දූවිලි, තෙල් තට්ටු, ආලේපන තට්ටු, ධූම පටල, මැරුණු සම ආදිය 100% ක්ම ඉවත් කරන්න ෆේෂල් එකකට පුළුවන්. එමෙන්ම රෝම කූප මුල සහ නළල් දාරයේ ඉතිරිව තිබූ අපද්‍රව්‍ය ද හොඳින් ඉවත්කර දෙනවා.

මුහුණේ ඇති කළු ලප, සුදු ලප සහ බිබිලි ඉවත් කරන අතරම සමේ මැරුණු සෛල ඉවත්කර සමට මෘදු බවක් ලබා දෙයි.

එමෙන්ම සමේ රැලි වැටීම අවම කරයි. මුහුණේ රුධිර සංසරණය ප්‍රාණවත් කරයි. සමේ ඇතිවන ආසාදන අවම කරයි. මුහුණේ වියළි ගතිය හෝ තෙල් ගතිය පාලනය කර සම දීප්තිමත් කරයි. ඒ වගේම මුහුණට

මේක්අප් දැමීමේ දී ලැබෙන පෙනුම වෙනදාට වඩා ලස්සන වෙයි.

එලෙස ෆේෂල් වර්ග කිහිපයක්ම තිබෙනවා. එනම් ශාකසාර ෆේෂල්, ද්‍රව ඇසුරෙන් කරන ෆේෂල්, සිසිල් වාෂ්පීකරණ ෆේෂල්, තාප වාෂ්පීකරණ ෆේෂල්, විද්්‍යුත් දහරා ෆේෂල් සහ ප්ලාස්ටික් සැත්කම් ෆේෂල් වර්ගයි. නමුත් අපේ රටේ කාන්තාවන් අතර ප්‍රචලිත මේවායින් ෆේෂල් වර්ග කිහිපයක් පමණයි.

සාමාන්‍යයෙන් කාන්තාවකට සමේ බාහිර ආබාධ නැති නම් තරුණ වියේදී සමට විශේෂ පෝෂණයක් අවශ්‍ය නැත. එහෙත් වයස අවුරුදු 35 ක් පමණ වන විට සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය හීන වීම නිසා සමට අවශ්‍ය පෝෂණය නොලැබී යයි. එම නිසා සමේ තෙතමනය නැති වීම, ඇස් යට රැලි ඇති වීම, ගෙල අවට රැලි ඇති වීම, සම අවපැහැ ගැන්වීම වැනි වියපත් වීමේ ලක්ෂණ පහළ වේ. මේ නිසාම සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35 පමණ වනවිටවත් මසකට වරක් ෆේෂල් සත්කාරයක්කර ගැනීමට උනන්දු විය යුතුය. 

මුලින්ම මුහුණ පිරිසුදු කරන්න. 

මේ සඳහා ක්ලෙන්සර් එකක් භාවිත කළ යුතුය. පිපිඤ්ඤා යුෂ, මී පැණි, දෙහි යුෂ තේ හැන්ද බැගින් ගෙන ඒවා හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය මුහුණේ ආලේපකර මිනිත්තු 3 ක් පමණ වෙලාවක් උඩු අතට හොඳින් පිරිමදින්න. මෙය කුඩා මසාජ් කිරීමක් වැනිය. අනතුරුව තෙත පුලුන් කැබැල්ලකින් හෝ ස්පොන්ජ් එකකින් මෙම ආලේපනය ඉවත්කර ගන්න. 

ස්ටීම් කරමු

මුහුණ ස්ටීම් කරනවා කියන්නේ වාෂ්පයට ඇල්ලීමයි. ස්ටීම් කිරීම මඟින් සමේ රෝම කූප විවර වී ඇතුළත ඇති අපිරිසුදු දේ මතුපිටට පැමිණේ. එමෙන්ම එමඟින් මුහුණේ ඇති කුරුලෑ සහ ලප කැළැල් බොහෝ දුරකට ඉවත්කර ගත හැකිය. මේ සඳහා ෆේෂල් ස්ටීමරයක් හෝ උණු වතුර බඳුනක් ආධාරයෙන් මුහුණ ස්ටීම්කර ගත හැකිය. උණු වතුර බඳුනත්, ඔබේ මුහුණත් අතර පරතරය අඩියක්වත් තිබිය යුතුය. සාමාන්‍ය සමක් ඇති අයකුගේ මුහුණ විනාඩි 3කට වරක් විවේක ගනිමින් විනාඩි 10ක් පමණ ස්ටීම්කර ගත යුතු ය. වියළි සමක් ඇති අයකුගේ මුහුණ නතර නොවී එකදිගට විනාඩි 2ක් පමණ ස්ටීම් කරගැනීම ප්‍රමාණවත්ය. අධික කුරුලෑ සහිත සමක් ස්ටීම් කිරීම එතරම් සුදුසු නොවේ. නමුත් බ්ලැක් හෙඩ්ස් ඉවත්කර ගැනීමට ස්ටීම් කිරීම වැදගත්ය. ස්ටීම් කරන විට උණු වතුරට කොහොඹ කොළ යොදා ස්ටීම් කිරීමෙන් මුහුණේ ඇති විසබීජ විනාශ වී, කුරුලෑ ළප කැළැල් ඉවත් වී යයි.

 ඊළඟට ස්ක්‍රබ්

වෙනිවැල්ගැට, ඉරමුසු, කොකුම්පොතු, සුදු හඳුන්කුඩු, තේ හැන්ද බැගින් ගෙන එය පොල් වතුර හෝ මී පැණිවලින් දිය කර මුහුණේ ආලේප කරන්න. ඉන්පසුව මෙම ආලේපනය මිනිත්තු 5 ක් පමණ කාලයක් රවුමට උඩු අතට ස්ක්‍රබ්කර ආලේපනය සමේම වියළීමට ඉඩ හරින්න. එය වියළුණු පසු නැවත ස්ක්‍රබ්කර සෝදා හරින්න. 

බ්ලැක්හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරන්න

ඉන්පසු මුහුණේ ඇති වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත් කළ යුතුය. මේ සඳහා කොහොඹ කොළ, අමු කහ සමඟ තම්බා එම වතුරෙන් මුහුණට දුම් අල්ලා මුහුණෙහි ඇති කළු ලප, සුදු ලප සහ කුරුලෑ එක්ස්ටැක්ටරයක් භාවිතයෙන් ඉවත්කර ගන්න. ඉන්පසුව කෝමාරිකා යුෂ සමඟ මී පැණි හා තල තෙල් බිංදු කිහිපයක් හොඳින් මිශ්‍රකර සම උඩු අතට මිනිත්තු 10ක් පමණ සම්බාහනය කරන්න. මෙය වඩාත් අවබෝධයෙන් යුතුව සිදු කරන්න.

පැක් එක දමා ගනිමු

මුහුණ පිරිසුදුකර ගැනීමෙන් පසුව ඔබට පැක් එක දමා ගත හැකිය. ඒ සඳහා නාමල් රේණු, දොඩම් ලෙලි කුඩු, කොකුම්පොතු කුඩු හා මී පැණි තේ හැන්ද බැගින් ගෙන ඒවා එළකිරි සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. ආලේපනය වියළුණු පසු සෝදා හරින්න. මෙය සාමාන්‍ය සමකට සුදුසු පැක් එකකි.

වියළි සමක් නම් අලිගැටපේර ගෙඩි භාගයකට කිරි යොදය මිශ්‍රකර සාදා ගන්න. තෙල් සහිත සමක් සඳහා සුදුහඳුන් කුඩු, කොකුම් පොතු කුඩු, දෙහි ඇඹුල් තේ හැඳි 1ක් එක්කර සාදා ගන්න. එලෙස සාදාගත්පැක් වර්ගය මුහුණේ ආලේප කිරීමේදී රෝස වතුරින් පෙඟ වූ පුළුන් කැබැල්ලක් ආධාරයෙන් මුහුණේ උඩු අතට ගල්වන්න. විනාඩි විස්සකින් පමණ පසුව සම මත ඝන වී ඇති පැක් එක සාමාන්‍ය ජලය හෝ සීතල වතුරින් තෙත මාත්තු කරමින් මුහුණේ උඩු අතට පිරිමදිමින් ඉවත්කර ගන්න.

ෆේෂල් සත්කාරයක්කර පැය 24ක් පමණ කාලයක් ගත වන තුරු කිසිදු ආලේපන වර්ගයක් ගැල්වීම සුදුසු නැහැ. ෆේෂල් එකක් කිරීමට සුදුසුම වෙලාව වන්නේ අව් රශ්මිය නොමැති උදෑසන හෝ සවස් වෙලාවකය.

 මසකට දෙපාරක් පමණ මෙවැනි ෆේෂල් සත්කාරයක් නිවෙසේදීම සිදුකර සැබෑ වෙනස ඔබත් අත්විඳින්න.

Tharunie