Sunday, September 08, 2024
Follow Us
ඔබත් සුදු වෙන්න ගිහින් මරණයට අත වනනවාද ?

සුදු වෙන ක්‍රීම් ගෑම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වී තිබේ. ඒ තරමටම අපේ තරුණියන් සම සුදුවෙන ආලේපන ගෑමට උනන්දුය. මේ ප්‍රවණතාවය දවසින් දවස වැඩිවෙන පසුබිමක විවිධ වර්ගයේ සුදුවෙන ආලේපන පමණක් නොව එන්නත් වර්ග පවා භාවිතයට තරුණියන් මෙන්ම තරුණයන් ද පෙළඹී තිබේ. වයස් සීමාවකින් තොරව ඉතා කුඩා වයසේ පාසල් දරුවන් පවා මෙලෙස සුදුවෙන ආලේපන භාවිත කරනු ලබන්නේ කිසිදු නියාමනයක් නොමැතිවය.

එවැනි පසුබිමක මෙවැනි ආලේපනවල ඉතා භයානක බැර ලෝහ ලෙස සලකන රසදිය පවා ඉහළ මාත්‍රාවෙන් ඇති බව සොයාගෙන තිබේ. ඖෂධ පාලන නියාමන අධිකාරියේ විද්‍යාගාර හරහා ලබාගත් පර්යේෂණ වාර්තාවල සඳහන් වන ආකාරයට ඇතැම් ආලේපන වර්ගවල කිලෝග්‍රෑම් එකක මිලිග්‍රෑම් 65,000ක ප්‍රමාණයක් රසදිය අඩංගු බව සඳහන් වේ. ලියාපදිංචියක් නොමැති නියාමනයක් නොමැති, ඇතැම් ආලේපනවල කිලෝග්‍රෑම් එකක මිලි ග්‍රෑම් 42,880ක ප්‍රමාණයක් අඩංගුව තිබූ බවද වාර්තා වෙයි. නමුත් ආලේපනයක අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බව සම්මතය වී තිබුණද මෙවැනි ඉහළ මාත්‍රාවකින් මෙවැනි රසායනික දෑ අඩංගුව තිබීම ඉතා භයානක තත්ත්වයකි.

මෙවැනි ඉතා භයානක රසායනික බැර ලෝහ අඩංගු ආලේපන දීර්ඝ කාලීනව භාවිතය තුළ ඇති වන්නේ දරුණු සමේ පිළිකා රෝගය. එසේම දීර්ඝ කාලීන සංකූලතා ඇතිවන බවද වෛද්‍යවරු පවසති.

මෙරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට මේ නිසා ඇතිවන සංකූලතා නිසා ඉතා භයානක රෝග පමණක් නොව මරණය පවා සිදුවන බව පෙන්වා දෙයි. මේ පිළිබඳ විමර්ශනයක් කළ අප මුලින්ම මෙම ආලේපන භාවිතයේ භයානකත්වය හා අතුරු ප්‍රතිඵල ගැන විමසීමක් කළේ කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මියගෙනි. ඇය මේ ගැන විග්‍රහ කළේ මෙලෙසිනි.

" සමේ ආලේපන භාවිත කරලා මා ළඟට ආපු ළාබාලම දරුවා අවුරුදු නවයක ගැහැනු දරුවෙක්. අවුරුදු 15ක තවත් දරුවෙක් මම දැක්කා ශරීරය සුදු වෙන ආලේපන භාවිත කරලා ශරීරය පුරාම බිබිලි හටගෙන තිබුණා. අපේ රටේ මිනිස්සුන්ට උරුම වෙලා තියෙන්නෙ දුඹුරු පැහැති සමක්. පාරජම්බුල කිරණත් සමඟ ගැටෙන අපට දුඹුරු හම උපතින්ම ලැබුණු දෙයක්. නමුත් දුඹුරු සම සුදු කරනවා කියන්නේ එය ඉතා අවදානම් ක්‍රියාවක්. නමුත් යම් යම් අවස්ථාවලදී සමට ආලේපන භාවිත කරන්න සිදුවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස වියළි සමක් ඇති අයෙකුට ඒ වියළි බව නැතිකර ගැනීමට මොයිස්චර්රයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න සිදුවෙනවා. ඒ වගේ අවස්ථාවලදී ආලේපන භාවිත කිරීමට සිදුවෙනවා.

නමුත් දැන් මේ සුදුවීම අපේ රටේ උන්මාදයක් බවට පත්වෙලා තියෙනවා. මේ උන්මාදය ඇති කරලා තියෙන්නේ ප්‍රචාරක ආයතන. ඔවුන් ජනතාව අතර මතයක් ඇති කරලා තියෙනවා ලස්සනයි කියන්නේ සුදු පාට විතරයි කියලා. මෙය තමයි ගැටලුව. පොදුවේ ඔබට ආලේපන අවශ්‍යද කියන ප්‍රශ්නය ඇසුවොත් මට කියන්න තියෙන්නේ ඔබ මුලින්ම නිස්කලංකව සිතන්න ඔබේ පෙනුම කොයි වගේද කියල. ඔබේ ශරීරයේ අඩුපාඩු තියෙනවා ද? උදාහරණයක් ලෙස මගේ ඇස් යට කළුයි කියලා හිතමු. මේ ගැන මට යමක් කරන්න සිදු වෙනවා. මොකද මට විඩාබර පෙනුමක් එනවා මේ ඇස් යට පෙනුම නිසා. නැතිනම් කම්මුල්වල ලප ඇතිවීම වයසට යන විට සිදුවන දෙයක්. මෙය ඔබේ පෙනුමට බාධාවක් නිසා ප්‍රතිකාරයක් කළ යුතුයි. අපට සමේ ඇතිවන ප්‍රබල රෝගයක් තමයි කුරුලෑ ඇතිවීම.

එවැනි ගැටලු තිබේ නම් ඒ ගැටලුවලට විසඳුම් සෙවීම තමයි ඔබ කළ යුත්තේ. එසේ නොමැතිව ක්‍රීම් එකක් ගෑම අවශ්‍යයි කියන එක මිථ්‍යාවක්. තරුණ වයසට පැමිණෙන දරුවෝ ක්‍රීම් ගෑම අවශ්‍යම දෙයක් නොවෙයි. ඔවුන්ට ස්වභාවයෙන්ම සමට ආරක්ෂාව ලැබී තිබෙනවා. ඒ නිසා ක්‍රීම් ගෑම කළ යුතුම දෙයක් නොවෙයි. එසේම ක්‍රීම් එකක් ගෑමෙන් සුදු වෙන්නේ නැහැ. ඔබේ පෙනුම ගැන මුලින්ම සිතන්න. ඔබේ අඩුපාඩු තියෙනවා නම් ඒවාට පිළියම් කරන්න. කිසිම දවසක කරන්නම් වාලේ සැලොන් එකේ අක්කා කියපු නිසා, යාළුවා කියපු නිසා, ක්‍රීම් භාවිත කිරීම නිසා තමයි ගැටලු ඇතිවීමට මූලික හේතුව.

මේ තත්ත්වය ඇතිවීමට හේතුවෙලා තියෙන්නේ අපේ රටට රූපලාවණ්‍ය ආලේපන ගෙන්වීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවීමයි. ඒ නිසා ප්‍රමිතියෙන් තොරව, නියාමනයක් නොමැතිව දහස් ගණනක් ආලේපන වෙ‍ෙළඳපොළේ පවතිනවා. නමුත් ආලේපනයක් භාවිත කරන ඔබ මූලිකව දැනගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මේ නිෂ්පාදනය කරන ආයතනය, මෙහි අඩංගු ද්‍රව්‍ය, කවදාද මේ නිෂ්පාදනය කළේ, ඇසුරුම් කළේ, මෙහි කල් ඉකුත්වෙන දිනය ගැන අවම වශයෙන් තිබිය යුතුයි. මෙය අපට තේරුම් ගත හැකි අපේ රටේ භාෂාවකින් සඳහන්ව තිබිය යුතුයි.

අද ව්‍යාජ ආලේපන රාශියක් වෙ‍ෙළඳපොළේ පවතිනවා. නමුත් ඔබ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගත් ආලේපනයක් ගත් පසුව ඔබට සහතිකයක් ලැබෙනවා. මේවා සොයා බැලීමක්කර අනුමැතිය ලැබූ ආලේපන බව. එයට SLS, ISO වැනි ප්‍රමිති සහතිකයක් තිබේ නම් ඔබ තවත් සුරක්ෂිතයි. නමුත් ඔබ මේ සියල්ල තිබුණත් ප්‍රවේශම් විය යුතුයි. ඇතැම් ව්‍යාජ ආලේපනවල මේ සියල්ලම අඩංගු වෙන්නත් පුළුවන්.

තවත් වැදගත්ම දෙයක් තමයි මේ කිසිම ආලේපනයක් තම නිවෙසේ සකස්කර විකිණීම බලයක් නැහැ. ඒ නිසා රූපලාවණ්‍යාගාරවල පෞද්ගලිකව සාදන ආලේපන ගැන අපට අනුමැතිය ලබා දෙන්න බැහැ.

අපි දුඹුරු සම සුදු කරනවා කියන්නේ නිපදවන මෙලනින් විනාශ කිරීමයි. බ්ලීචිං කියන රසායනය යොදාගෙන සුදු කිරීම කියන්නේ හයිඩ්‍රො ෆිනෝන් අධි මාත්‍රාවෙන් යොදා ගැනීමයි. නමුත් 4%ක ප්‍රමාණයකින් හයිඩ්‍රො ෆිනෝන් කියන රසායනය අපට වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීමට අවසර තිබෙනවා. මෙය 4%කට වඩා වැඩි වුවහොත් පිළිකා කාරකයක් වෙන්න පුළුවන්. හැබැයි මෙලනින් විනාශ කිරීම සඳහා රසදිය යොදාගන්නා බව හුඟ දෙනෙක් දන්නවා. නමුත් මේ රසදිය හෝ බැර ලෝහ තිබිය හැක්කේ කොටස් මිලියනයකට එක කොටසක් පමණයි. නමුත් වැටලීම්කර සොයාගත් ආලේපනවල අතිවිශාල ප්‍රමාණයක් රසදිය අඩංගු ආලේපන හමුවුණා. රසදිය අල්ලන්නවත් බය අපි ආලේපනවල දාලා මුළු ඇඟේම ගානවා. මේවා ප්‍රමිතියට හදන ආලේපන නෙවෙයි.

මෙලෙස බැර ලෝහ අඩංගු ආලේපන හා බ්ලීචිං අඩංගු ආලේපන භාවිතය නිසා ඇතිවන සංකූලතා විශාල ප්‍රමාණයක් පවතිනවා. මුහුණේ සම තැන තැන සුදුවීම, කුරුලෑ ඇතිවීම, බෙල්ලේ රැලි සහිත ස්ථානවල සුදු වීම ලප කැළැල් ඇතිවෙනවා. මේ වගේ ඇතිවෙන්නේ ඉතා භයානක සැර ‘ස්ටිරොයිඩ්‘ ආලේපන සඳහා යොදා ගැනීමයි. මේවා ඇති වූ විට සුවකර ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. අතීතයේ මුහුණට පමණක් භාවිත කළ දේ මුළු ශරීරයටම දැන් යොදාගන්නවා. මෙය සම හරහා රුධිරයට එකතු වූ විට රුධිර පීඩනය වැඩිවීම, දියවැඩියාව වැනි තවත් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රසදිය වැනි බැර ලෝහ ශරීරගත වුවහොත් වකුගඩු රෝග, අක්මා ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම පසුකාලීනව පිළිකා රෝග පවා ඇතිවෙනවා.

අපේ රටේ පිළිකා ප්‍රමාණය වාර්තා වෙන ආකාරයට සමේ පිළිකා පිරිමින්ගේ තුන් ගුණයකින් හා ගැහැනුන්ගේ හතර ගුණයකින් වැඩි වී තිබෙන බව දත්ත වාර්තාවල සඳහන් වෙනවා. මෙවැනි ආලේපන නිසා අනාගතයේදී මේ ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. එය ඉතාම භයානක තත්ත්වයක්. අපට ලැබී තිබෙන මේ ස්වභාවික වර්ණයේ ඇති වටිනාකම ගැන තරුණ වයසේ දී දැනෙන්නේ නැහැ. නමුත් වයසට යන විට අපට තිබෙන මේ තලෙළු වර්ණය කොයි තරම් වටිනවාද කියලා තේරෙනවා.