Thursday, April 25, 2024
Follow Us
මුහුණට කරන සත්කාර අත්පා වලටත් කරන්න

ඔබ ඔබේ මුහුණ සහ හිසකෙස් සඳහා හොඳම වර්ගයේ ෆේස්වොෂ්, ක්‍රීම්, ෂවර් ජෙල් සහ තෙල් වර්ග මිල දී ගන්නවා. මේ දේවල්වලට මූලික තැන දෙද්දි බොහෝ දෙනෙකුට මගහැරෙන තැන් දෙකක් තමයි අත් සහ පාද. නමුත් මුහුණ වගේමඅත් පා ද පිරිසිදුවට ලස්සනට තබාගැනීම ඉතාම වැදගත්.

ඒ වෙනුවෙන් ලොව පිළිගත් හොඳම ටිප්ස් කිහිපයක් ඔබට කියල දෙන්න හිතුවා.

● නියපොතු පිරිසිදුව තියාගන්න...

අත් පා ගැන කතා කරද්දි නියපොතු කියන්නෙ ප්‍රධාන දෙයක්. ඇතැමුන් නිය කපනයකින් නියපොතු කපනව වෙනුවට කටින් හපන්න පුරුදු වෙලා ඉන්නවා. නියපොතුවලට හානි කරන මෙම නරක පුරුදු සදහටම නතර කරගත යුතුයි. මිනිසෙකුගේ නියපොතු රුපියලේ කාසියක පළලට වඩා දිගු නොවිය යුතු බවට මතයක් තියෙනවා. ඊට වඩා දිගුනම් නිය කැපීම වැදගත්. නියපොතු කියන්නෙ විසබීජවලට තෝතැන්නක්.

● වියලුණු දෑතට...

හොඳ තත්ත්වයේ මොයිස්චරයිසර් එකක් හොඳින් සෝදාගත් දෑත්වල දිනකට තුන් වතාවක්වත් ආලේප කිරීම වැදගත්. ගිම්හානයේදී සැහැල්ලු, තෙල් රහිත මොයිස්චරයිසර් භාවිත කළ යුතු අතර ශීත ඍතුවේදී බරින් වැඩි ආලේපනයක් තෝරා ගත යුතුයි.

● මාසෙකට සැරයක් හෝ මෙනිකියු එකක්...

අවම වශයෙන් මසකට වරක්වත් දෑත්වලට මෙනිකියු සත්කාරයක් කරන්න. මෙයින් ඔබේ දෑත් පිරිසිදු කර සම්බාහනය කරනු ලබනවා. එය ඔබේ දෑත්වලට ලැබෙන පරිපූර්ණ පෝෂණයක්.

● රාත්‍රී සම්භාහනය අවශ්‍යයි...

රාත්‍රී කාලයේදී මොයිස්චරයිසර් ආලේප කර මිනිත්තු පහක් පමණ දෑත් සම්බාහනය කළ යුතුයි. ඉතා රළු දෑත් සඳහා ඔබ භාවිත කරන මොයිස්චරයිසර් එක සමග වැස්ලින් ස්වල්පයක් මිශ්‍රකර ගැල්වීමෙන් රාත්‍රිය පුරාම සම ආරක්ෂා කරගන්න පුළුවන්.

● දවස පුරා මේස්වලට තැම්බෙන කකුල්...

මේ ගැටලුව බොහෝ වෙලාවට තියෙන්නේ පිරිමි පාර්ශ්වයට. මෙයට ප්‍රධානම හේතුව නයිලෝන් මේස්වලින් දිගු වේලාවක් කකුල ආවරණය වී තිබීමයි. නයිලෝන් වෙනුවට කපු හෝ ලොම් මේස් තෝරා ගැනීම ඊට සරල විසඳුමක්. ඒ වගේම සතියට මේස් ජෝඩු 2 ක් වත් භාවිත කරන්න.

● ගම්මිරිස් සත්කාරය දිලීර නාශකයක්...

දිලීර නාශක කුඩු හෝ ක්‍රීම් භාවිතය උපකාරී වෙන්නෙ කෙටි කාලීනව පමණයි. ස්නානය අතරතුර සාමාන්‍ය ෂවර් ජෙල් හෝ සබන් යොදා ඔබේ පාද හොඳින් සෝදා පසුව වියළි තුවායකින් පිසදැමිය යුතුයි. කකුල් හොඳින් වියලුණු පසු ගම්මිරිස් හෝ යුකැලිප්ටස් ශාකසාර අඩංගු දියරයක් ආලේප කිරීමෙන් කකුල්වල ඇති දිලීර විනාශ වෙනවා. මෙම අමුද්‍රව්‍ය දෙක ප්‍රබල දිලීර නාශකයන්. ඒ වගේම කෝපිවලින් සකසාගත් ස්වභාවික ස්ක්‍රබ් එකකින් විලුඹ ස්ක්‍රබ් කිරීමත් වැදගත්. දිලීර ආසාදන නියපොතු ගැලවී යාමට තරම් ප්‍රබලයි. ව්‍යායාම් ශාලාවල, ස්පාවල, නාන කාමරවල පාවහන් නොමැතිව ඇවිදීම දිලීර ආසාදන ඇති වීමට හැකි පොදු ක්‍රමයක්.

● කකුලේ බැක්ටීරියා විනාශ කරන්න ග්‍රීන් ටී...

පාවිච්චි කළ ග්‍රීන් ටී බෑග් 25 ක් පමණ උණුසුම් ජලයට දමා එහි පාද නිතිපතා පෙඟවීමෙන් තේවල අඩංගු ටැනින් නිසා බැක්ටීරියා විනාශ වෙනවා. ආමන්ඩ් මොයිස්චර්, ස්ක්‍රබ් වැනි නිෂ්පාදනයක් සතියකට කිහිප වතාවක් භාවිත කිරීමෙන් අත් පාවල වියළි බව ඉවත් කරගත හැකියි.

(අන්තර්ජාලය ඇසුරෙන් )