Saturday, April 20, 2024
Follow Us
මෙනික්‍යු, පෙඩික්‍යු සත්කාරය ලෙහෙසියි පහසුයි

ලස්සන දෑතකට, දිගු නිය පෙළකට උරුමකම් කියන්න යුවතියන්, කාන්තාවන් බොහොමත්ම කැමැතියි. කියුටෙක්ස් ආලේප කරලා, නේල් ආර්ට් කරලා නේකවිධ විසිතුරු මවන්න නම් සෞඛ්‍ය සම්පන්නව නියපෙළ පවත්වා ගෙන යා යුතුමයි. අතේ පමණක් නොව පාවල නියපෙළ කෙරෙහි දක්වන සැලකිල්ලේ කිසිදු වෙනසක් තියෙන්න තියෙන්න බැහැ.

මෙනික්‍යු සහ පෙඩික්‍යු යනු සෞඛ්‍ය සම්පන්නව සහ අලංකාරවත්ව නියපෙළ පවත්වාගෙන යෑමට ඇති අපූර්ව රූපලාවණ්‍ය සත්කාරයක්. සැලෝන් එකකට ගොස් මෙන්ම නිවෙසේදී වුවත් මේ සත්කාරය තමාටම තනිවම කරගන්නට පුළුවනි.

මෙනික්‍යු හෙවත් අත් අලංකාර කිරීම

අත් හොඳින් පිරිසුදු කර කර ගන්න.

මේ සඳහා විසබීජ නාශකයක් දමන ලද මද උණුසුම් වතුර තිබෙන භාජනයකට දෙඅත් දමන්න. නේල් බ්‍රෂ් මඟින් අතුල්ලා පිරිසුදු කර ගන්න. දෙඅත් පිරිසිදු ජලයෙන් සෝදන්න. ඉන්පසු තුවායක් මත තබා තෙත මාත්තු කරන්න. පුළුන් කැබැල්ලකට නේල් පොලිෂ් රිමූවර් දමා කලින් ආලේප කළ කියුටෙක්ස් ඇත්නම් ඉවත් කරගන්න.

** නියපොතුවල හැඩය තීරණය කර නේල් කටර් එකක් භාවිතයෙන් නිය කපා ගන්න.

** කියුටිකල්වලට සත්කාර කරන්න.

කියුටිකල් ක්‍රීම් නිය මත ආලේපකර ස්වල්ප වේලාවක් තබන්න. කියුටිකල් පුෂර් එකක් මඟින් පිටුපසට තදකර කියුටිකල් කටර් එකක් මඟින් මැරුණු සම ඉවත් කරන්න. කියුටිකල් මසාජ් ක්‍රීම් වෙළෙඳපොලෙන් විවිධ සන්නාම යටතේ මිලදී ගන්නට තිබේ.

මෙනික්‍යු ටූල් සෙට් එකක මේ සියලුම දෑ අඩංගු වේ. මේ සඳහා එතරම් මිලක් වැය නොවේ.

ස්ක්‍රබ් කරන්න

අත් දෙකට සුදුසු ස්ක්‍රබ් එකක් ආලේපකර විනාඩි 5 ක් පමණ තබා ස්ක්‍රබ් කරන්න.

මෙනික්‍යු එකක් කරද්දි මාසෙකට වතාවක්වත් මේ ස්ක්‍රබ් එක කරන්න අමතක කරන්න එපා.

නිවෙසේදී සාදාගත හැකි ස්ක්‍රබ් එකක්

ආමන්ඩ් කුඩු, අරළු කුඩු, නෙල්ලි කුඩු, වැල්මදට කුඩු සම සමව ගෙන එළකිරි, මී කිරි හෝ යෝගට් සමඟ කලවම් කර අත් දෙකේ ආලේප කරන්න. රවුමට ඇඟිලි තුඩුවලින් ස්ක්‍රබ් කරන්න.

පැක් එකක් දමා ගන්න

දෙඅත් අලංකාර කිරීමට ආලේපන ගැල්වීමේදී අත්‍යවශ්‍ය නම් මැණික් කටුවේ සිට පහළ දක්වා ආලේප ගල්වන්න. මෙය විනාඩි විස්සක්වත් තබන්න. විවිධ සන්නාම යටතේ වෙළෙඳපොලෙන් පැක් වර්ග මිලදී ගත හැකියි. සතියකට වතාවක් පමණ පැක් එකක් දැමීමේ වරදක් නැහැ.

නිවෙසේ දී පැක් එකක් සාදා ගන්නේ මෙහෙමයි

අමුක්කරා කුඩු, වැල්මී කුඩු, රත් හඳුන් කුඩු, ඉරමුසු කුඩු සම සමව ගෙන එළකිරි මී කිරි හෝ යෝගට් සමඟ කලවම් කර අත් දෙකේ ආලේප කර විනාඩි 20 -30 ක් පමණ තබා සෝදා හරින්න.

** මසාජ් ක්‍රීම් එකක් ගෙන අත් දෙක හොඳින් සම්බාහනය කර ගන්න. මේ ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඕනෑතරම් සොයාගන්නට පුළුවන්. එක් අතක් සම්බාහනය කර අවසානයේ අනෙක් අත සම්බාහනය කර අවසන් වනතුරු කලින් සම්බාහනය කළ අත තුවායකින් ඔතා තබන්න.

පෙඩිකියු හෙවත් දෙපා අලංකාර කිරීම

** දෙපා පිරිසිදු කරගන්න.

ෂැම්පු හා ඩෙටොල් මිශ්‍ර වතුරේ කකුල් දෙක මිනිත්තු 15 ක් පමණ දමා සිටින්න. නේල් බ්‍රෂ් එකකින් නියපොතු ද පියුමික් ස්ටෝන් එකකින් විළුඹ ප්‍රදේශය ද මැදගන්න. රූපලාවණ්‍ය උපකරණ ඇති තැන්වලින් මේවා මිලදී ගත හැකියි.

* ඉන්පසු තුවායක් මත තබා තෙත මාත්තු කරන්න.

පුළුන් කැබැල්ලකට නේල් පොලිෂ් රිමූවර් දමා කියුටෙක්ස් ඇත්නම් ඒවා ඉවත් කරන්න.

** නියපොතු වල හැඩය තීරණය කර නේල් කටර් එකක් භාවිතයෙන් නියපොත් කපා ගන්න.

** නියවලට කියුටිකල් සත්කාර කරන්න. කියුටිකල් ක්‍රීම් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.

* කියුටිකල් ටූල් එක මඟින් කියුටිකල් එක පිටුපසට තල්ලු කරන්න. කියුටිකල් කටර් මඟින් මැරුණු සම ඉවත් කරන්න.

** ස්ක්‍රබ්, පැක් සහ සම්බාහනය කිරීම

ස්ක්‍රබ් එක ආලේප කර විනාඩි 5ක් පමණ ස්ක්‍රබ් කරන්න. අත්වලට පාවිච්චි කළ ස්ක්‍රබ් සහ පැක් මේ සඳහාත් යොදා ගන්නට පුළුවනි.

* තෙත මිරිකූ තුවායකින් පිස පැක්එක දමා ගන්න.

ඉන්පසු සම්බාහන ක්‍රීම් එකකින් හොඳින් සම්බාහනය කරගන්න. සම්බාහන ක්‍රීම් එක මද උණුසුම් තුවායකින් ඉවත් කරගන්න.

* මොයිස්චරයිසර් ක්‍රීම් හෝ සන්ස්ක්‍රීම් ආලේප කරන්න.

අවසානයේ නිය අලංකරණය කර ගැනීමට

* බේස් කෝඩ් එක ආලේපකර නිය වියළෙන්නට හරින්න.

* නිය ආලේපන මිලදී ගනිද්‍දී ප්‍රමිතියෙන් යුතු ඒවා ගන්න.

* ටොප් කෝඩ්එක ආලේප කරන්න.

උපදෙස් :

මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය ශිල්පිනි

ඉෂාරා කෝර⁣ළගේ

 

Tarunie