Saturday, April 20, 2024
Follow Us
පෑවිල්ලට ඔබේ සම මට්ටු කරන්න දෙන්න එපා ! !

දේශගුණය, කාලගුණය අපට අවශ්‍ය පරිදි වෙනස් කරන්න බෑ. ඒත් ඒ නිසා අපේ සිරුරට ඇතිවන බලපෑම ගැන නොසිතා ඉන්නත් බෑ. විශේෂයෙන් ම රුව රැක ගැනීමේ දී මේ තත්ත්වයන් ගැන අවධානයෙන් වගේම අවබෝධයෙනුත් සිටිය යුතුයි.

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය සහිත වියළි කාලගුණය නිසා සමට වන බලපෑම සුළුපටු නැහැ. හිරු රශ්මියට සම නිරාවරණය වීමෙන් සම අඳුරු පැහැ වීම, සන් බර්න් ඇති වීම සිදු විය හැකියි. දැඩි රස්නය සහිත වියළි කාලගුණය නිසා සම වියළි වීම ද සිදුවිය හැකියි. මේ නිසා අපි මෙවැනි තත්ත්වයන්ගෙන් සම ආරක්ෂා කරගත යුතුයි.

හිරු රශ්මියට නිරාවරණය වීම හැකි තරම් අවම කරන්න. එළිමහනේ කටයුතු කිරීමේ දී නිතර කුඩයක්, හිස් වැස්මක් භාවිත කිරීමට පුරුදු වන්න. සිරුර හොඳින් ආවරණය වන ආකාරයේ ඇඳුම් අඳින්න. එවිට යම් තරමකට හෝ හිරු එළියෙන් සම රැක ගැනීමට පුළුවන්. හිරු එළියට සම පිළිස්සුණු පසුව නැවත එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වෙනවා. මේ නිසා වඩා සුදුසු වන්නේ සම පිළිස්සෙන්නට නොදී රැක බලා ගැනීමයි.

හිරු එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග ද ඇත. ඔබට හිරු එළියට නිරාවරණය වීමට සිදු වන්නේ නම් සම ආරක්ෂා කරගැනීම සඳහා S.P.F. අගය 30ක් වත් වන සන් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමට පුරුදු වන්න. මෙමඟින් සම හිරුඑළියට පිළිස්සීම අවම කරගත හැකියි.

සන් ක්‍රීම් ගැනීමේ දී බ්ලීචින් අඩංගු නොවන ක්‍රීම් වර්ගයක් තෝරා ගන්න.

කෝපි කුඩු, කහ කුඩු, ලුණු කුඩු (රෝස පැහැති ලුණු නම් වඩාත් සුදුසුයි) සම ප්‍රමාණවලින් ගෙන එයට නැවුම් එළකිරි ස්වල්පයක් දමා පැක් එකක් ආකාරයේ ආලේපයක් සකසා ගන්න. සාදා ගත් ක්‍රීම් එක අව්වෙන් සම පිළිස්සුණු ස්ථානවල ආලේප කරන්න. මෙය විනාඩි 20ක පමණ වේලාවක් තබා ස්ක්‍රබ් කරන ආකාරයෙන් පිරිමදිමින් ආලේපනය ඉවත් කරන්න. සිසිල් ජලයෙන් සෝදන්න. මෙය දිනපතා සති කිහිපයක් කිරීමෙන් හිරු එළියට පිළිස්සුණ සම යථා තත්ත්වයට පත්කර ගත හැකියි.

සෙවන් සීඩ්ස් පවුඩර් එසේත් නැතිනම් ඔබට සපයා ගතහැකි ධාන්‍ය වර්ග 5 ක් පමණ. මේ සඳහා හාල් පිටි, කඩල පිටි, මුංඇට පිටි, උඳු පිටි ආදී ධාන්‍ය පිටි වර්ග 5 ක් පමණ සම ප්‍රමාණවලින් ගෙන කහ කුඩු ස්වල්පයක් ද එයට එකතු කරන්න. මෙයට බිත්තර කහ මදයක් හා නැවුම් කිරි ස්වල්පයක් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.

දැන් මෙම මිශ්‍රණය අව්වට සම පිළිස්සුණු ප්‍රදේශවල ආලේප කරන්න. මෙය විනාඩි 30ක පමණ වේලාවක් තිබෙන්නට හැර වතුර ස්වල්පයක් දමා ස්ක්‍රබ් කරන ලෙස පිරිමැද ආලේපනය ඉවත් කරන්න. ඉන්පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. විටමින් සී අඩංගු සීරම් වර්ගයක් ආලේප කරන්න. මේ ප්‍රතිකර්මය අවම වශයෙන් දිනපතා සති දෙකක් පමණ සිදු කිරීමෙන් සමේ හිරු එළියට සිදු වූ අව පැහැය ඉවත් වේ.

සන් බර්න් සඳහා කෝමාරිකා පත්‍රයක් ගෙන එහි මැද ඇති ජෙල් කොටස ඉවත්කර එය පිරිසුදු කපු රෙදිකඩකට දමා මිරිකා ගන්න. පසුව මේ ජෙල් එක සිරුරේ ආලේප කරන්න. දහවල් කාලයේ දී කෝමාරිකා ආලේප කිරීමෙන් සිරුරට සිසිල් බවක් ද ලබා ගත හැකියි. මෙය දිගින් දිගට ආලේප කිරීමෙන් සන් බර්න් ද ක්‍රමයෙන් ඉවත් වේ.

මෙයට අමතරව කොලජන්, විටමින් සී, විටමින් ඒ අඩංගු ආහාර පාන වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න. වයස 40ට වැඩි අයකු නම් අදාළ විටමින් වර්ග වෛද්‍ය උපදෙස් මත භාවිත කරන්න. කාබෝහයිඩේට් අඩංගු ආහාර පාන මෙන්ම අධික සීනි සහිත ආහාර භාවිතය අවම කරන්න.

සම වියළීම අවම කිරීම සඳහා වැඩියෙන් ජලය පානය කරන්න. සමේ දීප්තිමත් බවට මෙය ඉවහල් වේ. වියළි කාලගුණයක් පවතින කාලයන්හිදී තේ පානය වෙනුවට කොමඩු, සීනි කැකිරි, බෙලි වැනි සිරුර සිසිල් කරන පාන වර්ගයන් භාවිතයට ගන්න. නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට එකතු කරගන්න.

වියළි සම ප්‍රකෘතිමත් කරගැනීම සඳහා ග්ලිසරින් ස්වල්පයකට රෝස වතුර මිශ්‍රකර එය සම මත ආලේප කරන්න. පිරිසුදු කිරීමෙන් අනතුරුව සමේ තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා හොඳ තත්ත්වයේ මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

මේ ප්‍රතිකර්ම සිදු කිරීමෙන් හිරු රශ්මිය වැඩි වියළි කාලගුණ තත්ත්වයක දී වුවද ඔබේ සම පැහැපත්ව හා දීප්තිමත්ව තබා ගැනීමට හැකියාව ලැබේ.

ඔබේ රුව ලස්සන වැඩි වීමට නම් නිරෝගී, පැහැපත් සමක් තිබීම අනිවාර්ය වේ. අවශ්‍ය වන්නේ රුව රැක ගැනීමට ඔබට ඇති අවශ්‍යතාව හා උනන්දුව පමණි.

උපදෙස් -

ප්‍රවීණ රූපලවණ්‍ය ශිල්පිනී

නිලූකා කොඩිකාර

Tarunie