Saturday, April 20, 2024
Follow Us
ළාබාල පෙනුමැති සුන්දර දෑතකට..

මුදු, වළලු දමා හැඩ කරන දෑත ඇත්තට ම සුන්දරද? ඔබේ දෑත් දෙස ඔබම නෙත් යොමු කරන්න. සුන්දර දෑතක් හිමි කාන්තාවකගේ මුහුණ දෙස අපගේ නෙත් දිවයන්නේ දෑත්වල සුන්දරත්වය පමණට ම ඇගේ මුහුණද සොඳුරුදැයි දැක බලා ගැනීමටයි.

මේ නිසා කාන්තාවකගේ දෑත් රුව රැක ගැනීමේ දී වැඩියෙන් ම අවධානය දිය යුතු අංගයක්. අනෙකුත් අංගයන්ගෙන් සැබෑ වයස පෙනීම වැළැක්විය හැකි වුවත් දෑතෙන් වයස එළිවීම වැළැක්විය නොහැකියි. ඒ නිසා වැඩියෙන් ම වෙහෙසන දෑත්වලට වැඩි සාත්තුවක් ඔබ කළ යුතුමයි.

බොහෝ විට වයසට යන විට නහර පෑදීම සිදු වේ. ඊට අමතරව දෑත්වල වියළි ස්වභාවය, නියපොතු කැඩී යාම, නියමලට හානි වීම, වැඩි වශයෙන් රෝම වැවීම, දෑත්වල රළු බව ආදිය දෑත් අවලස්සන වීමට හේතු වේ.

එක් එක් අයගේ දෑත්වල රළුබව, වියළි බව, අවපැහැ වීම ආදී ගැටලු ඇතිවන්නේ එක් එක් අය සිදු කරන කාර්යයන් අනුවයි. රසායනික ද්‍රව්‍ය සමඟ වැඩි වශයෙන් වැඩ කරන අය, හිරු එළියට දෑත් පිළිස්සීම, වැඩි වශයෙන් ජලයේ අත් තැබීමට සිදුවන, නිතර සේදීම් කරන ආදී ලෙස තමා කරන කාර්යයන් අනුව දෑත්වලට කළ යුතු සත්කාර ද වෙනස් වේ.

මේ සඳහා සිදු කළ හැකි ප්‍රතිකර්ම ලෙස නියපොතු නිසි ලෙස සැකසීම, මෙනික්‍යූ එකක් කිරීම (දෑත් සඳහා සිදු කරන සත්කාර), වැක්ස් කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම, සම්බාහනය ආදිය සිදු කළ හැකියි.

නියපොතු කැඩී යාම බොහෝ විට සිදු වන්නේ කැල්සියම් අඩු වීම හේතුවෙනි. එමනිසා කැල්සියම් අඩංගු ආහාරපාන ලබා ගැනීම මේ සඳහා අභ්‍යන්තරික ප්‍රතිකර්මයකි. එයට අමතරව ජෙලටීන් ස්වල්පයක් උණුසුම් ජලයේ දියකර එය මඳක් නිවුණ පසු එහි දෑත් දමා විනාඩි 20ක පමණ කාලයක් සිටින්න.

නියපොතුවල නියමුල් (ක්‍යූටිකල්) සඳහා ක්‍යූටිකල් ක්‍රීම් එකක් ආලේප කරන්න. විටමින් ඊ ස්වල්පයක් නියමුල්වල ආලේපකොට හොඳින් සම්බාහනය කරන්න. එමෙන්ම නියපොතු ශක්තිමත් වීම සඳහා කැල්සියම් ක්‍රීම් එකක් නියපොතුවල ආලේප කරන්න.

මෙනික්‍යූ එකකදී නියපොතු කපා හොඳින් පිරිසුදු කරන අතර නියමුල් සඳහා ද සම්බාහනයක් සිදු කරයි. දෑත් සම්බාහනය කරන අතර මෙනික්‍යූ එකක් මසකට වරක් හෝ නැතිනම් අවම වශයෙන් මාස දෙකකට වරක්වත් සිදුකර ගැනීම වැදගත්. ඔබ නියපොතු කපන විට එය තමාගේ රැකියාව, තමා සිදුකරන කටයුතු ආදියට අදාළ වන ලෙස කපාගත යුතුය.

හෙදියකට, කුඩා දරුවකු හෝ රෝගියකු රැකබලා ගන්නා කාන්තාවකට, රූපලාවණ්‍ය ශිල්පිනියකට ආදී කටයුතු කරන අයකුට නියපොතු දිගට, උල්ව සිටින සේ කැපීම යෝග්‍ය නොවේ. මේ ආකාරයට තමා සිදුකරන කටයුතුවලට අනුව නිය කපා ගන්න.

ඔබට හොඳ නියපොතු නැතිනම් නියපොතු අලවා ගැනීමට පුළුවන්. මෙහිදී ජෙල් නේල් හා ඇක්‍රලික් ක්‍රමයට නියපොතු සකසා ගත හැකියි. ඒ කෙසේ වෙතත් නිතර නියපොතු ඇලවීමේ දී එම ගම් නිසා ඔබට විවිධ අපහසුතා ඇතිවිය හැකියි. එමනිසා වඩාත් සුදුසු දෙය වන්නේ තමාගේ නියපොතු හොඳින් රැකබලා ගැනීමයි.

නිය ආලේපන ගැල්වීමේ දී නිතරම හොඳ වර්ගයේ නිය ආලේපන භාවිත කරන්න. බාල වර්ගවල නිය ආලේපන නිසා නියපොතු කහ පැහැ වීම සිදුවිය හැකියි. සාමාන්‍ය ක්‍යූටෙක්ස් හා ජෙල් ක්‍යූටෙක්ස් ලෙස ක්‍යූටෙක්ස් වර්ග දෙකකින් ඔබට ලබා ගතහැකි අතර ජෙල් ක්‍යූටෙක්ස් එක සාමාන්‍ය එකට වඩා වැඩි කාලයක් නියපොතුවල රඳවා තබා ගත හැකියි.

දෑත්වල සම වියළි නම් හොඳින් වතුර පානය කරන්න. වයසට යාම නිසා මේ තත්ත්වය ඇති වේ නම් දිනකට ෆිෂ් ඔයිල් (ඔමේගා 3) කරල් 2ක් බොන්න. විටමින් ඊ අඩංගු ආහාර ලබා ගන්න. හොඳ මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් දෑත් පිරිසුදු කිරීමෙන් අනතුරුව ආලේප කරන්න.

ග්ලිසරින්වලට රෝසවතුර මිශ්‍රකරන්න. එය බෝතලයකට දමා තබාගෙන එයින් ස්වල්පයක් අත්වල ආලේපකර සම්බාහනය කරන්න. ස්නානය කරනවිට කපු රෙදි කැබැල්ලකින් ස්ක්‍රබ් කරන ලෙස දෑත්වල මතුපිට සම පිරිමදින්න. මෙය කාලයක් කිරීමෙන් දෑත්වල වියළි බව නැති වේ.

දෑත් හිරු එළියෙන් දුර්වර්ණ වී ඇත්නම් මේ ආලේපය සකසා දෑත්වල ආලේප කිරීමෙන් දෑත් පැහැපත් කරගැනීමට හැකිවේ. ඒ සඳහා කෝපි කුඩු, කහ කුඩු, දුඹුරු සීනි, නැවුම් කිරි ආදිය සමව ගෙන එකට මිශ්‍රකර ආලේපය සාදා ගන්න. මෙය දෑත්වල ආලේපකර විනාඩි 20ක් පමණ තබා පසුව ඉවත්කර සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

මේ සත්කාර කිරීමෙන් ඔබට සුන්දර දෑතක් හිමිකර ගැනීමට පුළුවන්.

 ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර