Friday, April 19, 2024
Follow Us
ඔළුවෙන් ඔළුව සෙදුවොත් හිසකේ ප්‍රශ්න අඩුවේවි

ගොඩපර ගෙඩියක් බ්ලෙන්ඩ්කර ඔළුවට දාමා හිසකෙස්වල හොඳින් ගල්වා නාන්න. මෙය හිස පිරිසුදු කරන අතරම හොඳ ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ද ක්‍රියා කරයි. හිසට සිසිලසක් ගෙන දෙයි.

කාන්තා පිරිමි කොයි කාගේත් රුව ලස්සන කරන අංගයක් වන්නේ හිසකෙස් ය. හිස කෙස්වල නිරෝගී බව ඔබේ රුවට කරන බලපෑම මෙතෙකැයි කිව නොහැකියි. විවිධාකාර කොණ්ඩා මෝස්තර දැමීමට මෙන්ම විවිධ විලාසිතාවන්ට අනුව කොණ්ඩය කැපීමේ දී පවා නිරෝගී කෙස් කලඹක් වැදගත් වේ.

 

හිසේ, හිසකෙස්වල නිරෝගී බව වැදගත් වන්නේ සිරුරේ අනෙක් ප්‍රදේශවල නිරෝගී බවට ද මෙය බලපෑම් කරන බැවිනි. විශේෂයෙන් ම සමේ නිරෝගී බව කෙරෙහි හිසකෙස්වල නිරෝගී බව ඍජුවම බලපානු ලබයි.

හිසේ ඇතිවන රෝගවලින් මූලිකත්වය ගන්නේ හිස්හොරි ය. හිස්හොරි ඇති විටෙක පුද්ගලයකුගේ පෞරුෂත්වයට එය බලපානු ලබයි. හිස්හොරි කුඩු හිසකෙස්වල මෙන්ම තද පැහැති ඇඳුමින් සැරසුණ විට එම ඇඳුම් මත ද වැටීමෙන් ගෙන දෙන්නේ අපිරිසුදු පෙනුමකි. මේ නිසා කොතරම් හොඳින් ඇඳුමින් පැලඳුමින් සැරසී සිටිය ද එවැනි අයකුගේ ලස්සනට එය බාධාවකි.

හිස්හොරි ඇති වීමට නිධන්ගත රෝග, බඩේ උෂ්ණාධික බව, සැර අධික ෂැම්පු භාවිතය, හිස් කබල ඉතා වියළි බවින් යුක්ත වීම, සිරුරේ උෂ්ණ බව, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ වැනි උෂ්ණාධික ආහාර වැඩියෙන් ගැනීම හේතු වේ. මෙයට අමතරව අපිරිසුදුකම, හිස පිරිසුදුව තබා නොගැනීම, තෙල් ආලේපකර දවස් ගණන් සිටීම, වතුර අඩුවෙන් පානය කිරීම යනාදිය ද හේතු වේ. මෙවැනි තත්ත්වයක දී මුහුණේ කුරුළෑ ඇතිවීම, ඇක්නි ඇති වීම, පිටේ කුඩා බිබිලි ඇති වීම ආදියට හේතු ලෙසත් හිස්හොරි තිබීම දැක්වීමට පුළුවන්.

හිස්හොරි තිබෙන අයෙක් ස්නානය කරන විට සාමාන්‍ය ආකාරයට එය නොකර පළමුව හිස සෝදා පසුව ඇඟ කොටස සේදිය යුතුය. හිස සේදීමේ දී ඇඟට හිස සෝදන වතුර නොයන සේ දෙකට නැමී හිස සේදිය යුතුයි. මේ හිස සෝදන වතුර මුහුණට හෝ ඇඟට නොවැටෙන සේ එය කිරීමෙන් හිස්හොරි නිසා සමට විය හැකි හානිය වළක්වා ගත හැකියි.

හිස සේදීමේදී නිතරම සල්ෆර් ෆීර ෂැම්පු භාවිත කරන්න. කෝස්ටික් අඩංගු ෂැම්පු වර්ග ද නුසුදුසු ය. ඔබට ස්නානය කිරීමේදී දේශීය ෂැම්පු වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසු ය. කන්ඩිෂනර් නිසි ලෙස නොයෙදීමේ දී පවා හිස්හොරි ඇති විය හැකියි. එසේ වන්නේ කන්ඩිෂනර් හිස්කබලේ තැන්පත් වී කුඩු ලෙස මතු වීමයි.

විවිධ මෝස්තරවලට අනුව කොණ්ඩය සැකසීමේදී රිලැක්සින්, කලර් කිරීම, ෆර්ම් කිරීම ආදිය කිරීමට සිදු වේ. මේවාට යොදන ඇතැම් ක්‍රීම් වර්ග, දියර වර්ග ආදියෙහි ඇමෝනියා අඩංගු විය හැකියි. ඇමෝනියා නිසා හිස්කබල වියළි විය හැකියි.

මේ නිසා කන්ඩිෂනර් යොදන විට හිස් කබලේ සිට අඟලක් අඟල් භාගයක් පමණ ප්‍රමාණයක් තබා කෙස්වල ආලේප කරන්න. බොහෝ විට අපේ කෙස්වල ස්වභාවිකවම කන්ඩිෂනර් එකක් හැදෙන නිසා එය ආරක්ෂා කරගන්න. ඒ සඳහා හිසකෙස්වල තෙල් ගල්වා පැය කිහිපයක් තබා සෝදා හරින්න.

දිනපතා හිසකෙස් සේදීමට ෂැම්පු යෙදීම නොකළ යුත්තක්. ෂැම්පුවල ඇති රසායනික ද්‍රව්‍යයන් දිගින් දිගටම යෙදීමෙන් ඔබේ කෙස් කලඹ මෙන්ම හිස් කබල ද වියළි වීමට පුළුවන්. අද ඔබ ෂැම්පු යොදා නානවා නම් හෙට ඒ සඳහා දෙහි ලෙල්ලක් වැනි ස්වභාවික ද්‍රව්‍යයක් ආලේපකර නෑමෙන් හිස්කබල නිරෝගීව පවත්වා ගත හැකියි.

හැකි පමණ ෂැම්පු කිරීම නවතා ස්වභාවික ද්‍රව්‍ය හිසකෙස් සේදීමට යොදා ගන්න. එය රෝගවලින් ඔබ ආරක්ෂා කරනවා පමණක් නොව. කෙස් කලඹ වඩාත් ආකර්ෂණීය එකක් කරාවි. මේ සඳහා නිවෙසේදී ම කළ හැකි ප්‍රතිකර්ම කිහිපයක් අපි බලමු.

ගොඩපර ගෙඩියක් බ්ලෙන්ඩ්කර ඔළුවට දාමා හිසකෙස්වල හොඳින් ගල්වා නාන්න. මෙය හිස පිරිසුදු කරන අතරම හොඳ ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ද ක්‍රියා කරයි. හිසට සිසිලසක් ගෙන දෙයි.

සාමාන්‍යයෙන් අප හිසකෙස් සඳහා ඩීප් ක්ලෙන්සින් කරනවාට වඩා තෙල් සාත්තුවක් කිරීම වඩාත් ප්‍රතිඵලදායක ය. ඔබ හිස සේදීම සඳහා ෂැම්පු භාවිත කරනවා නම් ඒ සඳහා හොඳ ෂැම්පු වර්ගයක් භාවිත කරන්න.

කෙස් ගස නිරෝගී වීම සඳහා ප්‍රතිකාර කළ යුත්තේ හිස් කබලටයි.

කතුරුමුරුංගා කොළ, සුදු ලූනු, රතු ලූනු, කරපිංචා කොළ, කීකිරිඳිය මුල්, උළුහාල් ආදිය ගෙන ඔබට හිසට යෙදීම සඳහා තෙලක් සකසා ගත හැකියි. පළමුවෙන් උළුහාල් කුඩුකර ගන්න. කොළ වර්ග දෙක හොඳින් සෝදා වංගෙඩියක දමා කොටා යුෂ මිරිකා ගන්න. මෙය බ්ලෙන්ඩරයක දමා කොටා ගන්නවා නම් ඒ සඳහා ජලය ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එකතු කරන්න. සුදු ලූනු හා ලූනු ග්‍රේට්කර රෙදි කැබැල්ලකට දමා යුෂ මිරිකා ගන්න. මේ සඳහා පිරිසුදු පොල්තෙල් ද අවශ්‍ය වේ. බඳුනක් ළිප තබා එයට උළුහාල් කුඩු දමා බැදෙන විට තෙල් දමන්න. මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද (තේ හැන්දක් පමණ) එකතු කරන්න. තෙල් එකට කොළ යුෂ ද එකතු කර එය උතුරන විට ළිප නිවන්න.

මෙය හොඳට නිවුණ පසුව පෙරා පිරිසුදු බෝතලයකට දමන්න. දැන් මෙම තෙල් ස්වල්පයක් හිස් කබලේ ගල්වා හොඳින් හිස සම්බාහනය කරන්න. මෙය පැය දෙක තුනක් තබා සෝදා හරින්න.

දෙහි ගෙඩි 04ක් හා උළුහාල් ග්‍රෑම් 100ක් පමණ ගෙන දෙහි ගෙඩි කපා එයට උළුහාල් දමා වතුර ස්වල්පයක් දමා තම්බා ගන්න. මෙය වතුර ස්වල්පයක් තිබියදීම ළිපෙන් ඉවත්කර ගන්න. නිවුණ පසුව මෙය බ්ලෙන්ඩ් කරගන්න. මේ සාදා ගත් තලපය හිසේ ගල්වා සම්බාහනය කර පැය කිහිපයකට පසුව ෂැම්පු නොදා ස්නානය කරන්න. මෙය සතියකට දින දෙකක් සිදු කරන්න.

දිනපතා නෑම, තැඹිලි ගෙඩියක් බීම, නිතර වතුර බීම, ෆිෂ් ඔයිල් ගැනීම ආදිය ද සිරුර සිසිල් කර ගැනීමට සුදුසු ප්‍රතිකර්ම වන අතර, මේවා ඔබේ නිරෝගී බවට ඉවල් වේ. කෙස් කලඹේ පී.එච්. අගය නිසියාකාරව පවත්වා ගන්න. ඒ සඳහා ඔබ පී.එච්. 5.5 අගය ඇති ෂැම්පු ආලේපන පමණක් ගැනීමට වගබලා ගන්න.

මේ හිස්කබලට සිදු කරන ප්‍රතිකර්ම සිදු කිරීමේදී උදේ වරුවේ සිදු කිරීමට උනන්දු වන්න. නැතිනම් සෙම අධික අයට සෙම කෝපවීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිය හැකියි. උදේ වරුවේ මෙය කිරීම වඩාත් සුදුසු බැව් පැවසිය යුතුය.

මේ ප්‍රතිකර්මවලින් ඔබට හිස්හොරිවලින් තොර සුන්දර කෙස් කලඹක් ලබා ගත හැකියි.

 

 

 

උපදෙස් -

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නිලූකා කොඩිකාර

අයන්ති උඩුගම්පල

Tharunie