Tuesday, April 23, 2024
Follow Us
සුදු වෙන්න බෙහෙත් ගන්නේ බලාගෙනයි

සුදු වෙන්නට ගිහින් තිබෙන පාටත් නැතිවෙන්න පුළුවන්

කහ පැහැති සහ කොළ පැහැති එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම, වට්ටක්කා, බෙලි යුෂ පානය කිරීම මඟින් සම නිරෝගී කරගැනීමට මෙන්ම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හැකියි.

'සුසුදු සමක රහස' ගැන සෙවීම අද කාන්තාවන් අතර විලාසිතාවක් බවට පත් වෙලා. ආසියාතික රටක් ලෙස අපේ රටේ සිටින බොහෝ දෙනකුට ඇත්තේ තලෙළු සමකි. එහෙත් අද බොහෝ කාන්තාවන්ගේ කැමැත්ත වී ඇත්තේ සුදු පැහැති සමක හිමකාරියක් වීමයි.

 

සුදු සම ලස්සන වීමේ එක් අංගයකැයි සිතා ලස්සන වීම සඳහා සම සුදු කර ගැනීමට විවිධාකාර දේ සිදු කරන කාන්තාවෝ ඒවා සුදුසුද නුසුදුසුද යන්න ගැන පවා නොසිතති. ඇතැම් විට සම සුදු කර ගැනීමට ගොස් නීරෝගී සම විවිධ රෝගාබාධවලට ලක්කර ගැනීම සුලබ ය.

සෑම අයකුටම තමාටම ආවේණික වූ ශරීර වර්ණයක් උපතින් හිමි ය. යුරෝපීයයන් තමාගේ සුදු සම ටෑන්කර ගැනීමට නැතිනම් තලෙළු පැහැති කර ගැනීමට පැය ගණන් අව්වේ සිටිමින් දැඩි වෙහෙසක් ගනී. එහෙත් අප උපතින් උරුම වූ තලෙළු පැහැති සුන්දර සම විකෘති කර ගැනීමට වෙහෙසෙයි.

සම සුදු කර ගැනීමට කැමැත්තක් දක්වන ඔබට එය වැරැදි දෙයක් වුවත් වැරැදි මාර්ගයන්හි නොයා හරියාකාරව කරගන්නේ කෙසේදැයි සොයා බලමු.

මිනිසාගේ සිරුරේ ඇති විශාලම ඉන්ද්‍රිය වන්නේ සමයි. සම ස්තර හතකින් යුතුය. සම වියළි වීම, පිග්මන්ටේෂන් ඇති වීම, කුරුලෑ ඇතිවීම, රැළි වැටීම ආදී විවිධාකාර රෝග පීඩාවන් ඇති විය හැකිය. මෙවැනි දේ නිසා ද සමේ පැහැය අඩු විය හැකියි. ඒ නිසා අප ලස්සන ගැන සිතනවා නම් සමේ නීරෝගි බව ගැන ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

සම සුදු කර ගැනීමට සිතා විවිධාකාර දේ කරන බොහෝ දෙනෙක් ඒවායෙහි ආදීනව විඳින්නේ කාලයක් ගත වූ පසුය. අද වන විට එන්නත් කිරීමෙන් සුදු හමක් ලබා ගැනීමට ප්‍රවණතාවක් ඇතත් එහි නියම ප්‍රමිතිය ගැන කිසිදු සෙවීමක් බැලීමක් නැති නිසා ඇතැම් විට ඇතිවන අතුරු ආබාධ රුව විකෘති වන ආකාරයේ ඒවා විය හැකියි.

දැන් සමාජයේ එන්නත් කිරීම මඟින් සම සුදු කර ගැනීම සිදු කළත් එම ක්‍රමවේදය පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙනකුට නැහැ. මේ සම සුදු වීම සඳහා යොදා ගන්නා ග්ලූටතයොන් පිළිකා රෝග සඳහා කරන එන්නත් කිරීමේ දී සිදුවන අතුරු පලයක්. මේ ගැන මුලින් ම සොයා ගන්නේ ජපානයේ විද්‍යාඥයන් විසිනි. ග්ලූටතයොන් විටමින් සී සංඝටක සමඟ එකතු කිරීමෙන් සාදා ගත් රසායනිකයක් එන්නත්කරණයේ දී සම සුදු වීම සඳහා යොදා ගනී.

මේ එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කළ හැකි වන්නේ වෛද්‍යවරුන්ට පමණයි. නමුත් මේ වන විට සුදුසුකම් නැති පුද්ගලයන් නිසි ප්‍රමිතියක් නැති නිෂ්පාදන එන්නත් කිරීම නිසා මෙයින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. වැඩි මාත්‍රා ප්‍රමාණයක් එන්නත් කිරීම වැනි හේතු නිසා වකුගඩු රෝග පවා ඇතිවීමට පුළුවන්. අපේ රටට ගෙන්වන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු ග්ලූටතයොන් නොවන නිසා එම කෘත්‍රිම දේ මඟින් සම සුදු කර ගන්නවාට වඩා එසේ නොකර සිටීම වඩාත් සුදුසුයි.

ඒ වගේම වැඩි දෙනෙක් භාවිත කරන සම සුදු කරන ක්‍රීම් වර්ග ද සමේ ආලේප කිරීමෙන් සම සුදු වුවත් සමේ ව්‍යුහය විනාශ වීම නිසා වෙනත් රෝගාබාධ ඇති විය හැකියි. මේ ක්‍රීම් වර්ග සඳහා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටින නිරූපිකාවන් තමා සුදු වූයේ මේ ක්‍රීම්වර්ගවලින් බව පැවසුවත් සැබෑව එය නොවේ. ඒ බව තේරුම්ගෙන තමාගේ සම රැක ගැනීමට කටයුතු කිරීම වැදගත්.

මේ ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් සම සුදු වුවත් ඉන් සිදුවන හානිය ඔබට එක්වරම දැනෙන්නේ නැත. අතුරු ආබාධ ඇති වන්නේ වසර කිහිපයක් ගිය පසුවයි. මෙවැනි ක්‍රීම් වර්ගවල රසදිය හා බ්ලීචිං අඩංගු වන අතර ඒවා සමට අහිතකර ද්‍රව්‍යයි. එම නිසා මේ ක්‍රීම් වර්ග කාලයක් භාවිත කළ පසුව එය ආසාත්මික වීමෙන් හා උඩ සම දුර්වල වීමෙන් සමේ ඇක්නි ඇතිවීම, අධික ලෙස කුරුලෑ ඇති වීම, වෙනත් බිබිලි සමේ ඇති වීම, සම රතු වීම ආදී අතුරු පල ඇති විය හැකියි.

මේ නිසා ඔබ රුව ලස්සන කරගත යුත්තේ හරි දේ හරි ආකාරයෙන් කිරීමෙනි. ඔබ යමෙකුගෙන් රූපලාවණ්‍ය පිළිබඳ සේවාවක් ලබා ගන්නේ නම් හා එවැනි අයකු විකුණන රූපලාවණ්‍ය නිෂ්පාදනයක් මිල දී ගැනීමේ දී කිසිවක් නොවිමසා සේවය ලබා ගැනීමට යාම අනුවණකමකි. මෙහිදී ඔබ සිදු කළ යුත්තේ තමා සේවය ලබා ගැනීමට යන රූපලාවණ්‍ය ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ අත්දැකීම් (සේවා කාලය), වෘත්තියමය සුදුසුකම්, ආදිය පිළිබඳ සොයා බලන්න. ඒ පිළිබඳ සේවාදායකයකු ලෙස ඔබට අයිතියක් ඇත. ක්‍රීම් වර්ගයක් සෑදීමට නම් අවම වශයෙන් ක්ෂේත්‍රයේ වසර 15ක වත් ප්‍රවීණත්වයක් තිබිය යුතුයි.

ඔබ යම් රූපලාවණ්‍ය ආලේපනයක් මිල දී ගන්නා විට එහි අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය හෝ කල් ඉකුත්වන දිනය ආලේපනය නිෂ්පාදිත ආයතනයේ නම, ලියාපදිංචි අංකය, දුරකතන අංකය ආදිය පිළිබඳ සඳහන් වේදැයි සොයා බලන්න.

නමුත් වඩා වැදගත් වන්නේ සුදු සමක් ලබා ගැනීම නොව, ඔබට උපතින් ලැබුණු සම දීප්තිමත්, පැහැපත් සමක් ලෙස රැක ගැනීමයි. ඒ සඳහා ඔබට ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් සමට සත්කාර කළ හැකියි. මේ සඳහා ඔබ පළමුවෙන් ම කළ යුත්තේ නිසි ලෙස ආහාරපාන ලබා ගැනීමයි. සිරුර තුළට ගන්නා දේ මඟින් 70% ක් ඔබගේ පෙනුමට, පෝෂණයට බලපායි.

කහ පැහැති සහ කොළ පැහැති එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම, වට්ටක්කා, බෙලි යුෂ පානය කිරීම මඟින් සම නිරෝගි කර ගැනීමට මෙන්ම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හැකියි. කැරට් යුෂ, බීට් යුෂ සීනි නොදමා දෙහි ස්වල්පයක් දමා පානය කිරීමද සුදුසුයි. නමුත් මේවා දියවැඩියාව ඇති අයට සුදුසු නොවේ. විටමින් සී අඩංගු දෙහි කුලයේ යුෂ වර්ග පානය කිරීමත් වැදගත්.

අලිගැටපේර අධි ප්‍රෝටීන් අඩංගු වටිනාම පලතුරක්. ඒ නිසා අලිපේර ආහාරයට ගන්න. ආහාරවේලට වැඩි වශයෙන් සලාද, මැල්ලුම් වර්ග එකතු කර ගන්න. මේ ආහාර ලබා ගැනීමෙන් සිරුරට අවශ්‍ය විටමින් වර්ග ලබා ගන්න පුළුවන්.

සතියකට දින තුනක් පමණ (දිනයක් හැර දිනයක්) ස්ක්‍රබ් එකක් කිරීමෙන් සමේ මැරුණ සෛල ඉවත් කිරීමට පුළුවන්. මේ සඳහා මුංඇට පිටි, කහ (වියළි කහ) කුඩු සමඟ එළකිරි මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. මේ සාදා ගත් පැක් එක සෝදා පිරිසුදු කරගත් සිරුරේ ගල්වා විනාඩි 20ක් පමණ වේළෙන්නට තබා සෝදා ඉවත් කර ගන්න. තෙත මාත්තු කරගත් සමට හොඳ බොඩි ලෝෂන් එකක් ගල්වන්න. මෙම ප්‍රතිකර්මය සිදු කිරීමෙන් සම්පූර්ණ සිරුරම එකම පැහැයකින් දිස්වේවි.

කෝපි කුඩු, කහ කුඩු, මීපැණි, එළකිරි සමසේ ගෙන මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. මෙය තෙත සම මත ආලේප කර සෙමෙන් කවාකාරව පිරිමදින්න. මේ ස්ක්‍රබ් එක මඟින් සමේ ඇති බ්ලැක් හෙඩ්ස්, මැරුණු සම, ඉවත් වී සම පිරිසුදු වේ. මෙය විනාඩි 20ක් පමණ වේලාවක් තබා නැවත ජලය යොදා ස්ක්‍රබ් එක ඉවත් කරන්න. පසුව ටෝනර් එකක් ආලේප කරන්න. ටෝනර් ලෙස පිපිඤ්ඤා යුෂ, රෝස වතුර වැනි දෙයක් භාවිත කළ හැකියි.

 

උපදෙස් -

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

නිලූකා කොඩිකාර

Tharunie