Thursday, April 25, 2024
Follow Us
හැඩය හරියටම දැන තෝරා ගත්තොත් කැපී පෙනෙන රූමතියක් වේවි ඔබත්

සුන්දරත්වය ගැහැනියකට උපතින්ම හිමිවූ දායාදයකි. එය රැකගැනීම, වැඩි දියුණු කිරීම හෝ විනාශ කර ගැනීම සිදු කර ගන්නේ ද ගැහැනියමයි.

තම සුන්දරත්වය අකා මකා දමන එක් කරුණක් වන්නේ අඳින ඇඳුම්ය. මේ කතාබහ ඇඳුම් ගැනයි. ඔබගේ සිරුරේ හැඩය හඳුනා ගන්න. හිමි වී ඇති හැඩය කුමක් වුවත් ඒ ගැන සතුටු වන්න. ඉන්පසු ඔබට තිබෙන්නේ ඒ හැඩයට අනුව ඇඳුම් තෝරා ගැනීම සහ ඇඳුම් මස්සවා ගැනීමයි.

කාන්තාවක් හැටියට තම ඇඳුම් පැලඳුම් ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. ඒකට හේතුව සමාජයේ කාන්තාවට හිමි වී ඇති වටිනාකමයි. ඇය ලස්සනට අඳිනවට පලඳිනවාට, හැඩට ඉන්නවාට හැම කෙනෙක්ම කැමැතියි.

තම පෞරුෂයට, රැකියාවට යන ස්ථානයට ගැළපෙන ආකාරයට ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමට කාන්තාවන් දැනුවත් වී සිටිය යුතුයි. මේ සඳහා සිරුරේ පැහැය ගැන උනන්දු වීමත් අත්‍යවශ්‍යයි.

ගොඩක් වෙලාවට ඒවා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව අතට අහුවෙන එක. හොඳයි කියලා හිතෙන එක, හිතුමනාපෙට ඇඳගෙන ගිහිල්ලා මිනිසුන්ගේ සමච්චලයට, විහිළුවට, කතාබහට ලක් වෙලා දුකට පත්වීම බොහෝවිට සිදු වෙනවා.

 

හැඩය හඳුනාගන්න

අපි හැමෝගෙම ශරීර විවිධ හැඩතලවලින් යුක්තයි. ඒ හැඩවලට අනුව ඇඳුම තෝරා ගත්තේ නැත්නම් අපිව පේන්නේ කැතට. කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බඩ ඉදිරියට නෙරා ඒම. ඒ වගේම පළල් උරහිස් තිබීම. ඇඟට වඩා පපු ප්‍රදේශය විශාල වී තිබීම. සමහර අයගේ අත්වල මහත. ඒ වගේම පිටුපස ප්‍රදේශය විශාල වීම, කලව ප්‍රදේශය විශාලව පෙනීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ශරීරය කොයි වගේද කියා අවබෝධයක් ඇති කෙනකුට ඒ අනුව ඇඳුම තෝරා ගන්න පුළුවන්.

මිලදී ගැනීමට පෙර ඇඳුම ඇඳ බැලිය යුතුයි. ඒ මඟින් එහි පාට, කර, අත් දෙක, උස ප්‍රමාණය වගේ ගොඩක් දේවල් දිහා බලා එම ඇඳුම සුදුසුදැයි කියන එක තේරුම් ගන්නට හැකියි.

ඇඟ මහත කෙනෙක් එහෙම නැත්තම් බඩ ඉදිරියට නෙරා ආපු කෙනෙක් ඇඟ තද වෙන විදිහේ ඇඳුම් ඇඳීමෙන් අවලස්සන සිරුරක් නිර්මාණය වෙනවා. ඒ නිසා බඩ ප්‍රදේශය සඟවා පෙන්වීමට සුදුසු ඇඳුම් වර්ග ගැන සැලකිලිමත් වෙන්න. ඉණ උඩට දමා මසා ඇති ඇඳුම් වර්ග සහ එම ඇඳුමේ බඩ ප්‍රදේශයට ෆ්‍රිල් එකක් දමා තිබීමෙන් එහෙම නැත්නම් ඉණෙන් පහළ කොටස ෆ්ලේයාඩ් වීම මඟින් අනවශ්‍ය ලෙස බඩ ඉදිරියට නෙරා ඒම සඟවාගෙන ඇඳුම ලස්සනට ඇඳ ගත හැකියි. සමහර බැගී බ්ලවුස් ඉදිරියට නෙරපු බඩ පෙනෙන එක වළක්වා ගන්න උපකාර කරනවා. ඒ වගේම රැපරවුන්ඩ් විලාසිතා සුදුසුයි.

 

සයිස් එක මොකක්ද?

ඇඳුම් තෝරා ගනිද්දි තමන්ගෙ සයිස් එක කුමක්ද කියා දැනගෙන සිටීම සියලුම කාන්තාවන්ගෙ වගකීමක් වෙනවා. සමහරු ඇඳුම් තෝරා ගන්න ගිහින් කීප සැරයක් එක එක සයිස්වල ඇඳුම් ගෙන්න ගෙන ඇඳ බලමින් දඟලනවා.

කොතරම් හැඩ වුණත් ලස්සන වුණත් ශරීරයට ගැළපෙන්නේ නැති ඇඳුමක් ඇඳගෙන සිටීමේ අපහසුතාව කොපමණද කියා කියන්නට බැහැ. ඇඳුම් ගන්නට යන සාප්පුවල ඉන්න මිනිසුන් අපහසුතාවට පත් නොකර සයිස් එකට හරියන ඇඳුම් කිහිපයක් තෝරාගෙන ෆිටෝන් කරන්න.

කකුල් මහතයි නම්, එහි පාට අවපැහැ වී ඇත්නම්, කකුල් දෙකේ පෙනුමේ එතරම් ලස්සන නැහැ කියා, හිතෙනවා නම් කොයිම වෙලාවකවත් කකුල් පෙනෙන ඇඳුම් අඳින්න එපා. එවිට ඇඳුමේ වටිනාකම පවා නැතුව යන්න පුළුවන්.

බොහෝ අය ඇඳුමේ පෙනුම ගැන හිතනවා විනා තමන්ගේ සිරුරේ අවලස්සන පෙනුම ගැන හිතන්නේ නැහැ. අත් නැති ඇඳුම් ඇඳිය යුත්තේ ඔබගේ කිහිලි ප්‍රදේශය අව පැහැ වී නැතිනම් සහ අත් ලස්සනට පිහිටා තිබේ නම් පමණයි.

 

හැඩය පෙන්වන ඇඳුම්

සිරුරේ හැඩය පෙන්නුම් කරන ඇඳුම් අඳින්න අවශ්‍ය අය, ඒ පෙනුම ඉස්මතු වන ලෙස ඇඳුම් ඇඳීම කිසිදු වරදක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට තමන්ගෙ සිරුර කොච්චර ලස්සන වුවත් ඒ ලස්සන පෙන්නුම් කරන ඇඳුම් තෝරා ගැනීමට කාන්තාවන්ට දැනුමක් නැහැ. උකුළ හොඳින් පෙනෙන විදිහට අඳින්න පුළුවන් ටයිට් ස්කර්ට් වර්ග තියෙනවා. ඒ වගේම උරහිස් පළල් අයට ලස්සන පෙන්නුම් කරන කර ගැඹුරට කැපූ ගවුම්, බ්ලවුස් වර්ග මිලදී ගන්න පුළුවන්.

ඉතා හැඩට පිළිවෙළට සාරියක් ඇඳීමෙන් තමන්ගේ සිරුරේ හැඩය ලස්සනට පෙනෙනවා. තමන්ට ගැළපෙන සාරි හැට්ටය නිර්මාණය කර ගෙන, ඉතා පිළිවෙළකට සාරිය ඇඳීම, අඩි උස සපත්තු දැමීම මඟින් කාන්තාවගේ සිරුරේ ඉණ සහ පිටුපස ප්‍රදේශය ඉතාමත් ලස්සනට පෙන්නුම් කර ගන්න පුළුවන්.

 

උස - මිටි

උස අඩු කෙනෙක් දිග ඇඳුම් ඇඳීමෙන් තවත් මිටි බවක් පෙන්නුම් කරනවා. ඉතා උස කෙනෙක් කොට ඇඳුම් ඇඳීමෙන් උස වැඩිකර පෙන්නුම් කරනවා.

අඳින ඇඳුමත් එක්ක පලඳින සපත්තු සහ ආභරණ ගැන ද සැලකිලිමත් වීම වැදගත්. ඉන් ඇඳුමේ සහ ශරීරයේ හැඩය පවා මනාව ඉස්මතු කර පෙන්වනවා.

ශරීරය මහත කෙනෙක් ඉරි සහිත ඇඳුම් අඳින කොට ඒ ඉරි උඩ සිට පහළට තිබෙන රෙදි වර්ගවලින් මසා තිබීමෙන් කෙට්ටු කර පෙන්වන්න පුළුවන්.

සිරුර කෙට්ටු කෙනෙක් ඉරි හරහට තියෙන ඇඳුම් තෝරා ගත යුතුයි. එසේ කිරීමෙන් කෙට්ටු බව අඩු කර පෙන්විය හැකියි.

 

හතරැස් ඇඟක් (rectangle) තියෙන කෙනෙක් හැම වෙලාවකම තමන්ට ඉණ තියෙන බව පෙන්වන විදිහේ ඇඳුම් ඇඳිය යුතුයි. උරහිස පුළුල් කර පෙන්වන balloon හැඩති අත් දැමූ ඇඳුම් ඇඳිය යුතුයි. එවිට ඉණ අඩු බව පෙන්නුම් කරනවා.

 

මේ විදිහට ඇඳුම් තෝර ගත්තොත් ඔබ නිසැකවම හැඩකාරියක් වේවි.

 

රූපලාවණ්‍ය, පෞරුෂ සංවර්ධන හා

මනෝ උපදේශිකා

දීප්ති පෙරේරා ඉදිරිපත් කරයි

Tharunie