Friday, March 29, 2024
Follow Us
මේ රෝස මාසයේ පියයුරු පිළිකාව කල් තියා හඳුනා ගනිමු

Zonta club ii Colombo

වෙතින් අනගි සමාජ සද්කාරයක්

සැත්කමට භාජනය වූ පියයුර ඇති පැත්තේ උරයේ කිහිල්ල යටින් මෙම බ්‍රෙස්ට් කුෂන් එක තබා ගැනීමෙන් රෝගියාට සහනයක් ගෙන දේ. මෙය සේදිය හැකි මෘදු ද්‍රව්‍ය භාවිතයෙන් සැකසූ පියයුරු කොට්ටයකි. මේ කුෂන් එක මැසීම සිදු කරන්නේ ද අඩු ආදායම්ලාභී කාන්තාවන් විසිනි.

කුෂන් එක පලඳින්නේ සැත්කමින් පසුවයි. එවිට සැත්කම කළ පැත්තේ අත නිදහසේ භාවිත කළ හැකියි. සැත්කමින් පසු යම් සංකූලතාවක් මතු වුවහොත් එයට ද සහනයක් ගෙන දෙයි. වෙනත් බාහිර තත්ත්වයක් හේතුවෙන් සැත්කම කළ පෙදෙසට තුවාල සිදු වීමේ ප්‍රවණතාව ද අඩු කරයි.

පිළිකා සැත්කම් සිදු කරන රජයේ සහ පෞද්ගලික රෝහල් සියල්ලටම මෙකී පියයුරු කුෂන් එක බෙදා හරින්නේ නොමිලේය.

මේ සද්කාරයේ යෙදෙන්නේ Zonta සමාජය යි. Zonta යනු වෘත්තිකයන් සහ ව්‍යාපාරික කාන්තාවන්ගෙන් සැදුම්ලත් ලෝක ව්‍යාප්ත සංවිධානයකි. ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ මහනුවර වශයෙන් Zonta club 4ක් ඇත. Zonta club ii Colombo විසින් වසර හයක් පුරා අඛණ්ඩව මෙම Breast cushion ව්‍යාපෘතිය පවත්වාගෙන යයි. මේ සමාජය නිරතුරුවම පිළිකා රෝගය පිළිබඳ පොදු ජනතාව දැනුම්වත් කිරීම, රෝගීන් රැකබලා ගැනීම සහ පිළිකා රෝගයට බඳුන් වුවන් වෙත සහාය දීම වෙනුවෙන් ඇප කැප වෙයි.

පියයුරු පිළිකා ගැන දැනුම්වත් කිරීමේ මාසය හෙවත් රෝස මාසයේ (Pink month) දී මහජනතාව, රෝහල් හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන්, ක්ෂේත්‍ර හෙදියන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්, රැකබලා ගන්නන් සහ තරුණ ශල්‍ය වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් Zonta club ii Colombo හරහා සංවිධානය වේ.

Breast cushion අවශ්‍ය අය තම අනන්‍යතාව තහවුරු කරමින් 0112429591 අංකයෙන් තරුණී අමතන්න.

 

 

"මගේ පියයුරේ පොඩි වෙනසක් තියෙනවා. වෙනදා වගේ නෙවෙයි. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බැලුවම අමුතුයි වගේ. හිතට පුංචි චකිතයක් නොදැනුණාමත් නෙවෙයි. ඒ හින්දම මම ස්වයං පියයුරු පරීක්ෂාව කෙරෙහි වඩාත් උනන්දු වුණා."

 

ලංකාවේ මෙන්ම ලෝකයේ අදටත් කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් ගොදුරු වන පිළිකාව බවට පත්ව ඇත්තේ පියයුරු පිළිකාවයි. ලොව මරණවලට බලපාන ප්‍රධානතම හේතු අතරින් පස්වැනි ස්ථානයට වැටෙණුයේ ත් පියයුරු පිළිකාව වැලඳීම නිසා සිදුවන මරණයි. එය පෙණහලු පිළිකා තත්ත්වය පවා ඉක්ම ගොස් තිබේ. මේ එළැඹෙන්නේ ඔක්තෝ්බර් මාසය හෙවත් රෝස මාසය යි. තවත් ලෙසකින් කියන්නේ නම් පියයුරු පිළිකාව වැළැක්වීම පිළිබඳ දැනුම්වත් කෙරෙන මාසයයි.

 

ස්වයං පියයුරු පරීක්ෂාව

ශ්‍රී ලංකාවේ පියයුරු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (Sri Lanka Society of Breast Surgeons) මේ මාසය පුරාවටම ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ කාන්තාව දැනුවත් කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටියි.

මෙය ඕනෑම කාන්තාවකට ඉතා පහසු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් කළ හැකි දෙයකි (රූප සටහන අනුව). අවුරුදු 25 - 30න් පසු ඔසප් වීම සිදුවී දින 5 -7 අතර කාලයේ එක් දවසක මෙය කළ හැකියි. ආර්තවහරණය වූ කෙනකුට මාසයේ එකම දිනයක ස්වයං පියයුරු පරීක්ෂණය කිරීමට පුළුවනි.

පියයුරේ ව්‍යූහය හෙවත් හැඩය පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා දේ. කිසියම් හෝ වෙනසක් සිදුවේ නම් ඒ බව එම කාන්තාවට හඳුනාගත හැකි වේ. මෙය සෑම මාසයක ම සිදු කිරීමෙන් ඉතා කුඩා වෙනසක් වුව හඳුනාගත හැකි වේ.

 

මැමොග්‍රෑම් පරීක්ෂාව

වෙනසක් ඇත්නම් විශේෂයෙන් ම අවුරුදු 35ට වැඩි අයකු නම් රජයේ රෝහලකට, සායනයකට ගොස් වෛද්‍යවරයකු ලවා පරීක්ෂාවක් කර ගැනීම වැදගත්. අවුරුදු 35ට වැඩි ඕනෑම කෙනකුට මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කරගත හැකියි. අවුරුදු 35ට අඩු අයට ස්කෑන් පරීක්ෂණයක් වඩාත් යෝග්‍ය වේ. මැමෝග්‍රෑම් සහ ස්කෑන් පරීක්ෂාව යන දෙකම එකවර සිදු කර ගැනීම වඩාත් සාර්ථක නිගමනවලට එළැඹීමට වෛද්‍යවරයාට මඟ පාදයි.

 

පටක පරීක්ෂාව (Biopsy)

තෙවැනි පියවර ලෙස ස්වයං පියයුරු පරීක්ෂාවකදී පියයුරු ආසාදනයක් ඇත්දැයි සැක සහිත නම් දෙවනුව මැමෝග්‍රෑම් පරීක්ෂණයන් හරහා යම් නිගමනයකට පැමිණීමෙන් පසු පටක පරීක්ෂණයක් (Biopsy) සිදු කෙරේ. ඒ ඔස්සේ නිවැරැදිව ම පැන නැඟී ඇති ගැටලුව හඳුනා ගනියි. ආසාදනය ඇති තැනින් මෙම පරීක්ෂාව සිදු කෙරේ.

තනපුඩුවෙන් යම් ස්‍රාවයක් ගැලීම, එහි හැඩය ඇකිළී ඇදී ගොස් ඇත්නම් සම ප්‍රදේශය දොඩම් ලෙල්ලක ස්වරූපය ඇත්නම් වෛද්‍ය පරික්ෂාවකට යොමු වීම අත්‍යවශ්‍ය වේ. පියයුරු පිළිකාවක් ඇත්තේ යැයි හඳුනා ගතහොත් එම රෝගීන් මූලික අවධිය, ඊට වඩා තරමක් එහා ගිය අවධිය, පියයුරු පිළිකාව පැතිරුණු එකක් ලෙස හඳුනා ගැනීම යනාදී ලෙස පරීක්ෂා කොට වර්ග කෙරේ. කුඩාම අවධියේ පිළිකාවක් නම් ශල්‍යකර්මයක් සිදු කොට එම කොටස ඉවත් කරයි. වැඩිපුර පැතිරී ඇත්නම් පියයුර ඉවත් කළ යුතුයි. සම්පූර්ණ පියයුරම ඉවත් කළත් ශරීරයේම වෙනත් කොටසකින් තෙල් තට්ටුවක් ගෙන නැවත පියයුර තිබූ ලෙසටම (Reconstruction) සකසයි. මේ ශල්‍යකර්ම රෝගීයාගේ රෝගියාට වෙනස් වීමට පුළුවනි.

පියයුරේ ශල්‍යකර්මය කළ පසු පිළිකා සම්බන්ධ විශේෂාංග වෛද්‍යවරයකුට (oncologist) යොමු කරයි. එම වෛද්‍යවරයා කීමෝ තෙරපි, රේඩියෝ තෙරපි ආදිය නිර්දේශ කරයි. Anti Hormone Therpy නමැති බීමට ගන්නා ඖෂධ ද ලබා දේ. නැවත පිළිකාව හට ගැනීමට ඇති හැකියාව මුලිනුපුටා දැමීමට ෙම ෙස් සිදු කරයි. සාමාන්‍ය කාන්තාවක් වසර දෙක, තුනකට වරක් මැමෝග්‍රෑම් පරීක්ෂාව කරන්නේ නම්, පිළිකාවක් වැලඳුණු කාන්තාවක් වසරකට වරක් මැමෝග්‍රෑම් සහ ඊට අදාළ අනෙකුත් පරීක්ෂණ කළ යුතුවේ.

 

Breast Cushion

යම් කාන්තාවකගේ පිළිකාමය තත්ත්වය නිසා පියයුර සම්පූර්ණයෙන් ම ඉවත් කළා යැයි සිතමු. එම කාන්තාවට නැවත පියයුර තිබූ ලෙසට ම සකසා දීමක් අවශ්‍ය නොවේ යැයි පැවසුවහොත් එක් පැත්තක පියයුරක් පමණක් තිබේවි. එය තරමක අසාමාන්‍ය තත්ත්වයකි. වසර ගණනාවක් පුරුදුව සිටි සිරුරෙන් කොටසකුයි මෙලෙස ඉවත් කෙරුණේ. එවිට Breast cushion එක භාවිතයෙන් ශාරීරික සහනයක් අදාළ කාන්තාවට ලබා දේවි. නිදා ගනිද්දී සිදුවන අපහසුතා මඟ හරවමින් භෞතිකව මෙන්ම මානසිකව ද සහනයක් සලසයි. මෙයින් සුව නින්දක් කරා යා හැකි බව රෝගීන් පවසයි. Breast cushion එක හිස් පපු ප්‍රදේශයට මනා සහනයක් සලසයි. මෙය අත වටේ ඇති හැන්ඩ් බෑග් එකක් වැනිය.

උපදෙස් -

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍යවෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

කාංචනා විජේසිංහ

(ශ්‍රී ලංකා පියයුරු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්)

 

විශේෂ ස්තූතිය -

ශ්‍රී ලංකා පියයුරු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති

විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් ද සිල්වා

Zonta club ii Colombo-Breast cushion

ව්‍යාපෘති ප්‍රධානි - විද්‍යානි හෙට්ටිගොඩ

Tharunie