Thursday, April 25, 2024
Follow Us
මටත් ලස්සනට ඉන්න අයිතියක් තියෙනවා

ලස්සනට, හැඩට ඉන්න ඕනේ කියලා හිතෙන්නේ වැඩිපුරම කාන්තාවන්ටයි. එහෙම හිතන්නෙත් නැතුව ඉපදුණු විදිහටම ඔහේ තමන්ගෙ සිරුර වැඩෙන්ට ඇරලා බලාගෙන ඉන්න කාන්තාවනුත් ඉන්නවා.

වටපිට බැලුවාම ඔන්න දැන් ඔබට එය පිළිගන්න සිද්ධ ෙවනවා. එහෙම නැත්තං ඔබ ඔබ දිහාම බැලුවා.... ඔන්න එතකොට හිතුණා, “අනේ මාත් ඒ වගේ නේද?" කියලා.

අවශ්‍ය දේවල් අත ළඟමයි

ඔබ ඉතාමත් සුන්දර හදවතක් ඇති සමාජයට විශාල මෙහෙවරක් කරන යහපත්, චරිතවත් කාන්තාවක්. ඒත් ඔබට අමතක වුණු දෙයක් තියෙනවා..

ඔබ තාම ඔබේ සුන්දරත්වය දැකලා නැහැ ඔබ මොන තරම් ලස්සනට සුන්දරව ඉන්න පුළුවන් හිතවතියක් ද? ඇයි ඔබට අමතක වුණේ සුන්දරත්වය වැඩි කරන දේවල් මොනතරම් ඔබේ අත ළඟ තියෙනවා ද කියලා.

පාසල් යන කාලේ ඉතා පිරිපුන්ව තිබුණු දිගු වරලසට අද මොකද වෙලා තියෙන්නේ. මුළුතැන්ගෙට ගිහින් පොල්තෙල් ටිකක් අතට අරගෙන කොණ්ඩෙට දාලා හොඳට මසාජ් කරන්න. හිස් කබලට දැනෙන්න මසාජ් කරන්න. විනාඩි 15ක් 20ක් අතර කාලයක් හොඳින් සම්බාහනය කරන්න. පැයකින් විතර ෂැම්පු කරලා, හොඳට කණ්ඩිෂනර් පාවිච්චි කරලා නාන්න.

අත් දෙක, කකුල් දෙක වේළිලා, කළු වෙලා ගිහින් නේද? රෙදි හෝදලා, උයලා පිහලා. වළං හෝදලා, මිදුල් අතුගාලා, කොසු ඉදල් අල්ලලා ඔය අත් දෙකට මොනතරම් වද දීලා ඇති ද? මිදුලේ, වත්තේ ඇවිදලා, පාරවල්වල ඇවිදලා හිර සපත්තු දාගෙන, පරණ කියුටෙක්ස් තාම නියපොතුවල තවරගෙන... ලස්සනට, සුමුදුව තිබුණු කකුල් දෙකට මොනතරම් අපහාසයක් ඔයා කරලා ඇතිද? ඔබට වේදනාවක් ඇති. සමහර කාන්තාවන්ට ඉතා සුමට, ලස්සන කකුල් දෙකක්, අත් දෙකක් දකිනකොට තමයි ඇයි මම මේ ගැන සැලකිලිමත් නොවුණේ කියලා හිතෙන්නේ.

ක්‍රීම් ටිකක් ගාන්න

මේ සඳහා පුංචි දෙයක් කරන්න තියෙන්නේ. ඔබේ වැඩ ඉවර වෙන හැම වෙලාවකම හෑන්ඩ් ක්‍රීම් එකක් දෑත්වල ගාන්න. එහෙම නැත්තම් හොඳ බොඩි ක්‍රීම් එකක් තෝරගෙන අත් දෙකේ හා කකුල් දෙකේ උදේ සවස හොඳින් ගා මසාජ් කරන්න. “කොහෙද මට ඕවට වෙලාවක්..." කියලා ඔබට හිතුණා නේද? අන්න එතැන තමයි කාන්තාවන් අපි වරද්ද ගත්ත ම තැන. අපි අනිත් හැමෝම වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය, සතුට කැප කරනවා. හැබැයි අපි කොයි වෙලාවක වත් අපි වෙනුවෙන් දෙයක් කර ගන්නේ නෑ. අපි අධ්‍යාපනය ලබනවා. උසස් රැකියාවන් කරනවා. මුදල් හම්බ කරනවා. ඒවා වියදම් කරනවා. අවසානයේ අපි අපිට මුකුත් කරගෙන නෑ. ඒ නිසා ඉහත සිතුවිලිවලින් මිදිලා ඔබ, ඔබව විඳින්න පුරුදු වෙන්න. අනිත් අය දිහා බල බල අනිත් අය මොනා කියයිද දන්නෑ කියලා හිත හිත විඳව විඳවා ජීවිතය ගෙවන එක දැන් නතර කරන්න.

ඔබට ලස්සනට හැඩට ඉන්න අයිතියක් තියෙනවා. ඔබ කුමන තත්ත්වයේ කාන්තාවක් වුවත්, දියණියක්, බිරියක්, මවක්, ආත්තම්මා කෙනෙක් ආදී ඕනෑම භූමිකාවක ඔබ හිටියා වුණත් ඔබට සුන්දරව, ලස්සනට ඉන්න අයිතියක් තියෙන බව මතක තබා ගන්න.

ඔබ දිහාම බලන්න

ඔයාගේ සිරුර දිහා බලන්න, වෙලාවට කන්නේ නැතුව, හොඳ සැප නින්දක් නැතුව, ඔයාව වැරැහිලා ගිහින් ඇති. එහෙම නැත්තම් මහත්වෙලා ඇති. ඔබේ ආහාර රටාව නිවැරැදිව, පිළිවෙළට සකස් කරගන්න මහන්සි වෙන්න. හැමෝම කන්න කැමැති කෑම හද හදා, හැමෝම අඳින්න කැමැති ඇඳුම් අරන් දීලා ඔබ සතුටු වෙලා ඇති. කණ්ණාඩිය ළඟට ගිහින් ඔබ දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. හතර පැත්තටම කැරකිලා බලන්න. මම මොකක්ද මගේ ඇඟට කරගත්ත යහපත් දේ කියලා. ලස්සනට ඇඳුම් අඳින්න, හැඩට අඳින්න පුළුවන් ඇඳුම් තෝරා බේරා ගන්න කාලය පොඩ්ඩක් වැය කරන්න.

අපි ගොඩක් සැලකිලිමත් වෙන ඊළඟ කාරණාව තමයි අපගේ මුහුණ. පොඩ්ඩක් මූණ අතගාලා බලන්න. ඇස් වටේ හොඳින් බලන්න. නහය දෙපැත්ත, කට දෙපැත්ත කළු වෙලා පුංචි පුංචි ඩොට් තියෙනවා වෙන්න පුළුවන්. ඔයා දන්නවා ද? මේ හැමදේම ඔයාට ගෙදරදිම අයින් කරගන්න පුළුවන් දේවල් තියෙනවා කියලා.

ගෙදර දී ම සත්කාර

සීනි ටිකකට දෙහි ඉස්ම ටිකක් දාලා හොඳට දියකරගන්න. ඊට පස්සේ පිරිසුදු කර ගත්ත මුහුණ පුරාම හෙමින් අතුරලා හිමිහිට හිමිහිට ස්ක්‍රබ් කරන්න. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් කියන සියලු දේම ඉවත් කරගන්න ඔබට පුළුවන් වෙනවා. එළියට ගිය වෙලාවක වෙනිවැල්ගැට කුඩු ටිකක්, සුදු හඳුන් ටිකක්, මී පැණි චූටි බෝතලයක් ගෙනල්ලා තියාගන්න. ඒවායින් ටික ටික දාගෙන ඒ ඔක්කොම හොඳට මික්ස් කරලා ඉඳලා හිටලා මූණෙ ගාලා හොඳට ස්ක්‍රබ් කරන්න. ඒ ගමන් කළුවෙලා තියෙන බෙල්ල හරියත් ස්ක්‍රබ් කරන්න අමතක කරන්න එපා. කකුල් දෙකේ, අත් දෙකේ වුණත් කළුවෙලා තියෙන තැන්වලට මේක හොඳ ස්ක්‍රබ් එකක්.

මේ දවස්වල අලිගැටපේර ඕනෙ තරම් තියෙනවා. ඒවා ගෙනල්ලා හොඳට කන්න. ලෙල්ල හරියේ ඉතුරුවෙන කොළ පාට පොඩි කොටසක් අරගෙන හොඳට පොඩි කරලා තලපයක් වගේ හදලා මුළු මූණෙම තවරා පැය බාගෙකින් විතර හොඳට හෝදලා බලන්න, මූණ හොඳට පැහැපත් වෙලා තියෙනවා ඔයාට පේනේවි.

ඔබේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක්, ටෝනර් එකක් ගෙනත් උදේ හවස භාවිත කරන්න. වයසට ගැළපෙන, සමට ගැළපෙන හොඳ සුමුදු මොයිස්චරයිසර් ඩේ ක්‍රීම් එකක්, නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. මාසෙකට සැරයක් පොඩි මුදලක් එකතු කරගෙන සැලොන් එකට ගිහිල්ලා ෆේෂල් එකක් දාලා මූණ හොඳට සම්බාහනය කරගන්න. ඕක හැමෝටම කිය කියා ඉන්න ඕනේ නෑ. උපදෙසක් ඕනේ වුණොත් අනිවාර්යයෙන් මට කතා කරන්න. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඔබ වටේ ඉන්න අය ඔබව කොහෙවත් එක්කගෙන යන්නේ නැහැ, “එන්න අපි ලස්සන වෙමු" කියලා. ඔබ ක්‍රියාකාරී වුණොත් ඔබ හිමි හිමින් ලස්සන වෙයි. එතකොට ඒ අය ඔබේ දිහා නැවත නැවත හැරිලා බලයි.

 

රූපලාවණ්‍ය, පෞරුෂ සංවර්ධන හා මනෝ උපදේශිකා

දීප්ති පෙරේරා

Tharunie