Wednesday, May 08, 2024
Follow Us
ඔබ තාරකාව නිර්මාණය කරන්න

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්

ඔබේ දිනය හොඳින් අරඹන්න. ආකල්ප වෙනස් කර ජීවිතය වෙනස් කර ගන්න. කළ හැකි උපරිමය හොඳින් කරන්න. කිසි විටකත් ඔබේ ජීවිතය තවත් කෙනකුගේ ජීවිතය සමඟ සංසන්දනය කරන්න එපා.

යම් දිනක කිසිවක් නො කර සිටීම එදින ඔබට හොඳ රාත්‍රීයක් නො ලැබීමට හේතුවකි. මිනිසෙකු නෙළා ගන්නේ ඔහු වපුරන දේය. බ්‍රහ්ම මූර්තියෙන් එනම් අළුයම 4 හා 5 අතර අවදි වන්න. මිනිත්තු හැටක ශුද්ධ වූ හෝරාවකට අනුගත වන්න. දිනය ද ජීවිතය ද සැලසුම් කර ගන්න. ඔබ තාරකාව නිර්මාණය කරන්න. අන් අය ඊට අනුගත වේවි. ඔබ ලිහිල් ව සිටින විට සුන්දර ඵලදායි අදහස් සිතට ගලා ඒ. අනන්ත විශ්වය සම්පත් ගබඩාවකි. ඔබේ සිත ඒ හා සුසර කර ගන්න.

උයන්පල්ලා වතුර කළ ගෙඩි සිය ගණනක් වක් කළත් එහි ඵල හට ගන්නේ නියම කාලය පැමිණි විටයි. තේරුම් ගන්න ඔබ සමඟ සිටින්නේ අයහපත් පිරිසක් නම් ඔබ ද එසේමය. ඔබ යනු ඔබ ඇසුරු කරන පස් දෙනකුගේ සාමාන්‍ය වේ. ප්‍රවේසමෙන් ඇසුර සොයා ගන්න. අනුන්ගේ යහගුණ පමණක් කතා කරන්න. ආත්ම පරිත්‍යාගයෙන් තොරව කිසිවක් අයත් කර ගත නො හැකියි. ඔබගේ පෞරුෂය පෙනෙන්නේ කතාව මඟිනි. ඔබ විනාඩි 3ක් කතා කරන විටම ඔබ කවුරුන් ද යන්න අන් අය වටහා ගනී. සෑම ආපදාවකම සාර්ථකත්වයේ කුඩා බීජයක් සැඟව ඇත. සොබා දහම ඔබ සාර්ථක පුද්ගලයකු කරන්නේ තළා පෙළා හොඳින් මුවහත් කිරීමෙන් පසුවය. කවුරුන් හෝ ඔබට උපකාරයක් කළහොත් ඔහුට හෝ වාසනාවෙන් අඩු වෙනත් අයකුට ඔබ උපකාර කරන තුරු ඔබ ණයගැතියෙකි.

හොඳම රෝස පඳුර යනු කටු අඩු රෝස පඳුර නොව මල් වැඩි රෝස පඳුරයි. සෙමෙන් යාම නොව එක තැන සිටීමයි හොඳ නැත්තේ යනුවෙන් චීන කියමනක් ඇත. ජීවන ක්‍රීඩාවේ සමහරු බිය සැක නැතිව ක්‍රීඩා කරන අතර සමහරු පෑල දොරින් ඇතුළු වී පසුපස ආසනයක සිට එය නරඹති.

විශේෂඥයෙක් යනු මිටියක් අතට ගත් තැනත්තෙක් මෙනි. සෑම විටම සොයන්නේ ඇණයකි. සහයෝගය ගැන විශ්වාස නැත්නම් රෝදයක් අහිමි වූ වාහනයක් දෙස බලන්න. ලොකු දේවල් කළ නො හැකි නම් කුඩා දේවල් ලොකුවට කරන්න. විශාල නගරයක කුඩා මිනිසෙක් වෙනවාට වඩා කුඩා නගරයක විශාල මිනිසෙක් වීම හොඳයි. ආරම්භයේ දී ම පඩිය ගැන සිතීමෙන් බොහෝ අය ස්වර්ණමය අවස්ථා නැතිකර ගනී. ඔබ තුළ ආත්ම විශ්වාසය නැත්නම් අන් අය එය දැන ගනී. අල ගෝනියක් මෙන් කඩා වැටී ජීවත් වන්න එපා. සුරතල් බලු පැටියෙක් තෝරද්දිත් දුව පැන ඇවිදින කෙනා මිස හෝන්දු මාන්දු කෙනා තෝරන්නේ නෑ. ඔබ ප්‍රපාතයක් දෙස බලා සිටින විට ප්‍රපාතය ද ඔබ දෙස බලා සිටී. කිසිම තැනකට අශුභවාදීන් ඇවසි නැත. තමා තමාටම රජෙක් කර ගත යුතුය. තමා තමාටම පිහිටක් කරගත යුතුය. මිහිතලය ඉතා කුඩාය. ප්‍රකෝටි ගණන් මන්දාකිණි අතර අප ඉතා ක්ෂුද්‍ර ලොවකි. ශ්‍රේෂ්ඨත්වයට සූදානම් වන්න. ඔබ සිහින දකින පුද්ගලයා වීමට ඔබ තවමත් ප්‍රමාද නැත.

දැන් මේ සමඟ ඇති සටහනෙන් ඔබ ආ ගමන, ඉන්න තැන හා ඔබගේ ආයුෂ වසර හැත්තෑව නම් ඉදිරිය දින වශයෙන් මේ සටහනෙන් බලා ගත හැකියි.

 

දැන් ඔබ අත්‍යන්තයෙන් ම ගැඹුරු කල්පනාවකට වැටුණ බවත් ජීවිතයේ ඉතිරි ටික වඩා අවබෝධයෙන් ගෙවිය යුතු බවත් සිතූ බව මම ඉඳුරාම දනිමි. ලොවට ඔබට හැකි උපරිමය දෙන්න. ක්‍රීඩා කරන්නාට ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්න. වෛර කරන්නාට වෛර කිරීමට ඉඩ දෙන්න. කුරුල්ලා ජීවත්ව සිටිය දී කුහුඹුවන් ආහාරයට ගනියි. ඒ කුරුල්ලාම මියගිය විට, කුහුඹුවන් විසින් ආහාරයට ගනී. යහපත ඉටු කරන්න. යහපතම ඔබ වෙත පැමිණේවි. සමහරවිට ඔබ අයහපත ලෙස දකින දේ යහපතට පාර කියයි.

පළිගැනීමට ඔබගේ කාලය නාස්ති නො කරන්න. කර්මය සඳහා මෙනුවක් (A Menu) එනම් භෝජන පත්‍රයක් ඔබ වෙත ලබා නොදේ. කර්මය සඳහා කාල නීර්ණයක් (A dead line) නොමැත. බැහැරට ඔබ දෙන දේ ඔබ වෙත නැවත පැමිණේ. කර්මය විශ්ව සම්භාව්‍ය නීතියකි.

එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් නිපදවයි. එමෙන්ම එක් ගිනිකූරකින් වනාන්තරයක් වුව ගිනිබත් කළ හැකියි. මල් පෙති ගලවා මලක සුන්දරත්වය කිසිලෙසකත් විඳිය නො හැකියි. සතුට ඇති කරන්නේ ඔබේම ආකල්පයි. ඔබ එහාට මෙහාට තල්ලු කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන්න. සතුට පුරුද්දක් කරගන්න. අතීතයේ පඹයන් සමඟ සටන් කිරීම නවතන්න. ඔබේ මනසේ නිහඬ කාමරයක් ඉඳිකරගෙන සාමයෙන් වෙසෙන්න. අර්බුදයක් අවස්ථාවක් කරගන්න. කඳු යයි සිතා තුඹස් මතට නොනගින්න. ඔබ ලත් ආශිර්වාද ගණන් කරන්න.

සොලොස් කලා සපිරි පුරසඳ මෙන්,ඔබේ ජීවිතය ආලෝකවත් වේවා!

Tharunie