Tuesday, May 07, 2024
Follow Us
සිතේ සැහැල්ලුව මුහුණ ලස්සන කරනවා

ඔබේ වයස පෙන්වන කැඩපත මුහුණයි

සොඳුරු රුවක මහිමය කියන මුහුණක් හිමි කරගන්නට කැමැති ඔබ වෙනුවෙන් මුහුණට කළ යුතු සත්කාර පිළිබඳ පසුගිය සතියේ ඔබව දැනුවත් කළෙමු. මේ එම ලිපියේ ඉතිරි කොටසයි. ලස්සන මුහුණක් හිමිකරගන්න කැමැති නම් ඔබත් මේ දේවල් පිළිපදින්න.

 

 

ආහාර

 

ආහාර කියන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය රකින වැදගත්ම සාධකයක්. ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ ඔබේ තරුණ බව රකින්න හේතු වෙනවා. සමේ ඇදෙන සුලුබව පවත්වා ගැනීමටත්, රැලි වැටීම්වල සීඝ්‍රතාව අවම කිරීමටත් ප්‍රතිඔක්සිකාරක හෙවත් antioxidants අඩංගු ආහාර ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. සිරුරට නිසි ලෙස ආහාර ලබා දී පෝෂණය නො කරනවා කියන්නේ අකාලයේ වයස් ගත වෙන්න සහ මුහුණේ සුන්දරත්වය අහිමි කර ගන්න හේතුවක්.

 

දිනපතා ව්‍යායාම කිරීම

 

වයස සමඟ අපේ පරිවෘත්තීය ක්‍රියා මන්දගාමී වෙනවා. ඒ නිසා තරබාරු වීම පහසුවෙන් සිදු වෙනවා. ඔබ දිනපතා ව්‍යායාම පිණිස ඇවිදීම වගේ දෙයක් කරන්න. ව්‍යායාම කිරීම කියන්නේ තරුණ බව රකින හොඳ ඔසුවක්. ඒ වගේම ඔබ මහත් වුණොත් එහෙම නැත්නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වුණොත් මුහුණේ සමත් ඒ එක්කම විනාශ වෙනවා.

 

හිතේ පීඩනය අවම කරන ක්‍රියාකාරකම්

 

හිතේ පීඩනය කියන්නේ ඔබේ මුහුණේ ලස්සන වනසන නිහඬ හේතුවක්. පීඩනයට පත් වෙන්න ඕනේ තරම් දේවල් තිබෙන පරිසරයක ජීවත් වෙන ඔබ හිත සැහැල්ලු වෙන්න සංගීතයට සවන් දීම, භාවනා කිරීම, කිසියම් කලාකාමී ක්‍රියාකාරකමක් වගේ දෙයක් පුරුදු විය යුතුයි. හිතේ පීඩනය නිසා කොර්ටිසෝල් (Cortisol) මට්ටම ඉහළ යද්දී ඒ මඟින් සමේ සෛල ඉක්මනින්ම වයසට යවනවා. ඒ නිසා ඔබේ සිත සන්සුන් කරවන ක්‍රියාකාරකමක් සොයා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. එවිට ඔබේ මුහුණේ වයස හඟවන ලක්ෂණ මතු වීම පමා වේවි.

 

ඉර අව්වට නිරාවරණය කිරීම

 

සම අකලට වයසට යවන ප්‍රධානම සාධකය වන හිරු එළියෙන් ආරක්ෂා වෙන්න වග බලා ගන්න ඕනේ. UV කිරණට ලක් වීම කියන්නේ සමේ කොලජන් විනාශ කර ගැනීමට සහ සමට හානි කර ගැනීමට හේතුවක්. සමේ තරුණ බව රැක ගන්න නම් ඉර එළියෙන් ඔබ ආරක්ෂා වීම කළ යුතුයි. හැකි හැම විටම අව්වට යද්දී කුඩයක්, තොප්පියක් සහ අවු කණ්ණාඩි පැලඳීම ඉර එළියෙන් ආරක්ෂා වෙන්න හොඳ ක්‍රමයක්. ඊට අමතරව හිරු එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් එකක් අව්ව යන්න පැය භාගයකට කලින් අලේප කිරීම කරන්නත් ඔබට පුළුවන්.

මේ දේවල් ක්‍රියාත්මක කළොත් ඔබටත් සොඳුරු මුහුණක් හිමිකරගත හැකියි.

 

 

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

සැලෝන් මූඩ්ස්

.
Tharunie