Thursday, April 25, 2024
Follow Us
මවකට පහළ වන සොඳුරු ආශාව...

දොළ දුක ඇත්තක් ද?

බොහොමයක් කාන්තාවන්ට තමන් මවක් වීමට සුදනම් යන සුබ නිමිත්ත දැන ගත් පසු ඉතාම කෙටි කලකින්ම අත් විඳින්නට සිදුවන සොඳුරු ආශාව "දොළ දුක'' යනුවෙන් සාමාන්‍ය ජන වහරේ දී හැඳින්වේ. බටහිර වෛද්‍ය ක්‍රමයේදී Pregnancy cravings ලෙස මෙම තත්ත්වය හඳුන්වන අතර එහිදී මේ ගැන එතරම්ම වැඩි අවධානයක් යොමු නො කරයි. පොදුවේ සමාජයේ ඕනෑම කෙනකුට කිසියම් අමුතු දෙයක් කිරීමට කැමැත්තක් ඇති වූ විට ද එය දොළ දුකක් යයි හාස්‍යට ලක් කරන්නේ ඒ ගැන එතරම්ම තැකීමක් සිදු නොවන බැවිනි. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ''දොළ දුක'' යන්න ඉතාමත් සුවිශේෂී වූ සංසිද්ධියක් බව විද්‍යාත්මකව විශ්ලේෂණය කොට පෙන්වා ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දොළ දුක කෙසේ විග්‍රහ කර ඇතිදැයි අද ඔබට දැනගන්නට හැකියි.

 

තේරුම කුමක්ද?

බොහෝ ශ්‍රී ලාංකික වැඩිහිටියන් ගැහැනු දරුවකු ගර්භණී මවක් වූ විට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරමින් එම කාන්තාව රැක බලා ගැනීම, එම කාන්තාවගේ රුචි අරුචිකම් ගැන විශේෂ අවධානය යොමු කිරීම හා ඒවා සපුරා දීම ඉතා විශේෂ වූ වගකීමක් ලෙස සලකනු ලැබීය. නමුත් තවත් සමහරෙක් දොළ දුක යනු මිත්‍යාවක් බවත්, මෙය සමහර ගර්භණී කාන්තාවන් විසින් මනසින් ඇති කර ගනු ලබන පුහු ආශාවන් රැසක් බවටත් මත පල කරන අවස්ථා ද නැතිව නොවේ.

දොළ දුක යන්න විග්‍රහ කිරීමේ දී 'දො' යනු 'දෙක' යන අර්ථයයි. 'ළ' යනුවෙන් 'හදවත' යන්න නිර්වචනය වේ. 'දුක' යනු සංසිදුවා ගැනීමට විඳින දුක හෙවත් 'ආශාවයි'. ඒ අනුව දොළ දුක යනු හදවත් දෙකකින් හටගනු ලබන ආශාවයි. ආයුර්වේද විද්‍යාවේ මේ අවස්ථාව ''දෞහෘදාපචාරය'' ලෙසින් හඳුන්වා ඇත. එනම් හෘද දෙකක් නිසා හටගන්නා අපචාරය හෙවත් හෘද දෙකක් නිසා හට ගන්න ක්‍රියාවලියයි. ආයුර්වේද ග්‍රන්ථවල ''හෘද'' යනුවෙන් මනස හඳුන්වන බව ද දක්වා ඇත. මේ අනුව දොළදුක යනු මනස/හදවත දෙකක් එකවර ක්‍රියාකිරීමෙන් හට ගන්නා සං සිද්ධියක් බව ආයුර්වේදය පෙන්නුම් කරයි.

 

කුමක්ද මේ හදවත් යුගලය?

මෙමඟින් මවගේ හා කළල දරුවාගේ හදවත්/මනස නිරූපණය වේ. ඒ අනුව දොළ දුක යනු දරුවාගේ විවිධ වූ අවශ්‍යතාවන් මව ගේ මනසින් පිළිබිඹු කිරීමයි. මෙහිදී දරුවාගේ කායික මෙන්ම මානසික අවශ්‍යතවන් ද පෙන්නුම් කළ හැකියි. මේ ආශාවන් සංසිඳුවීම නො කළහොත් දරුවා ගැබ හැරයාම හෝ මනසින් හෝ කායිකව අසම්පුර්ණ රෝගී දරුවකු ලෙස මෙලොවට බිහිවිය හැකියි. මේ නිසා දොළ දුක සංසිඳුවීම ඉතාම උවමනාවෙන් සිදුකළ යුතු දෙයක් බව ආයුර්වේදයෙහි සඳහන් කර ඇත.

 

අශාවන් විවිධයි

දොළ දුක හෙවත් මේ විවිධ වූ ආශාවන් සාමාන්‍යයෙන් සති 6 සිට සති 16 දක්වා වන ගර්භණී කාලයේ දී බහුලය. එයට හේතුව මේ කාලය, කළල දරුවාගේ මනස හා කායික අංගෝපාංග හොඳින්ම වර්ධනය වන කාලය වීමයි. නමුත් සමහර කෙනකුට මෙම ආශාවන් ගර්භණී මුල්ම කාලයේ පටන්මත් කලාතුරකින් කෙනකුට මුළු ගර්භණී කාලය පුරාමත් පැවතිය හැකියි. ගර්භණී නොවන කෙනකුට ඇතිවන ආශාවන්ට වඩා මේ ආශාවන් ඉතා බලවත් වන අතර ඒවා ඉටු නොවීමෙන් මව මානසිකව මෙන්ම කායිකව ද තදබල ලෙස ව්‍යාකූලත්වයට පත් වේ.

දොළ දුක යනු කෑම බීම සඳහා වන ආශාව පමණක් නොවේ. සමහර කෙනකුට එය පින් දහම් කිරීම, දානමාන දීම, නෑ හිතවතුන් බලන්නට යාම වැනි සුබ කටයුතු සඳහා වන ආශාවන් වේ. කලාතුරකින් කෙනකුට යම් යම් අයගෙන් පළි ගැනීමට සිතීම වැනි අයහපත් මානසික තත්ත්වයන් ඇති වීමද සිදුවිය හැකියි. මේ සිතුවිලි මවගේ සාමාන්‍ය සිතුවිලිවලට වඩා වෙනස් වන්නේ බිහිවීමට සිටින දරුවාගේ මනස මෙමඟින් පිටතට පෙන්නුම් කරන නිසා බව සඳහන් වේ.

 

මවගේ යුතුකම

දරුවාට කුසේ දී අවශ්‍ය වන පෝෂණ පදාර්ථ සපුරා ගැනීමට විවිධ වූ අාහාර පාන සඳහා ආශාවන් ඇති විය හැකියි. ඒ සමහර ආශාවන් මව විසින් කිසිදා ඇලුම් නො කළ ආහාර පාන විය හැකියි. නමුත් එය කළල දරුවගේ අවශ්‍යතාවයි. සමහර මස් මාංස නො කන කාන්තාවන්ට ගර්භණී කාලයේ දී ඒවාට අධික කැමැත්තක් ඇති වේ. එය දරුවාට පෝෂණය ලබා ගැනීමට දරුවාගේ මනසින් ඇතිවන ආශාවකි. මේ නිසා මේවා ඉෂ්ට කිරීම මවගේ යුතුකමකි. එසේම මෙම ආශාවන් ඉෂ්ට කිරීමට මව මෙන්ම මව සමඟ සිටින සැමියා හා අනෙකුත් වැඩිහිටි අය ද එකසේ සිතට ගත යුතු වේ. එමඟින් මවට පෝෂණය, රැකවරණය හා ආරක්ෂාව ලැබෙන අතර කුසේ වැඩෙන දරුවාගේ මනසට ද මව, පියා හා අනෙකුත් අයගේ ආදරය, රැකවරණය, ආරක්ෂාව දැනෙන්නට වේ. මෙය දරුවා කායිකව මෙන්ම මානසිකව නිරෝගී දරුවකු ලෙස වැඩෙන්නට හේතුවක් වේ. එවිට කිසිදා දරුවා මව් කුස හැර නොයයි.

 

පාපී සිතුවිලි

එසේම සමහර ගර්භණී මව්වරුන්ට මේ කාලයේ දී පහළ වන අසාමාන්‍ය සිතුවිලි ද දොළ දුකෙහි තවත් ආකාරයකි. මේ සිතුවිලි දරුවාගේ මානසික තත්ත්වය නිසාම ඇතිවන ඒවා විය හැකියි. මෙයට උදාහරණයක් ලෙස විහාර මහා දේවියට ගර්භණී කලයේ දී ස්වාමීන් වහන්සේලාට මී වදයක් පුජා කිරීමට ඇති වූ ආශාව සඳහන් කල හැකියි. එහිදී දෛවඥයන් පැවසුයේ කුස තුළ සිටින්නේ රට එක්සේසත් කරන නිර්භීත පින්වන්ත දරුවෙක් බවයි. එසේම බිම්බිසාර රජුට අතිශය නපුරුකම් කළ අජාසත් කුමරු කුස තුළ සිටිය දී දේවියට රජුගේ උරය පලා ලේ බීමට ආශාවක් පහළ විය. එයින් පැහැදිලි වන්නේ අජාසත් කුමරු මව් කුස තුළ සිටියදීම තම පියාගෙන් පළිගැනීමේ සිතුවිලි පහලව තිබු බවයි.

මීට අමතරව, නිරෝගී උසස් බුද්ධිමත් පින්වන්ත දරුවෙකු ලබාගැනීමට බලාපොරොත්තු වන යුවළක් විසින් දරුවා කුස පිළිසිඳ ගැනීමට පෙර සිටම හා ගර්භණී කාලය පුරාවටම පිළිපැදිය යුතු විහරණ, එක් එක් මාසවල දී කළ යුතු දේවල් ආදිය පිළිබඳ කරුණු ආයුර්වේද පොත පතෙහි ඉතා විස්තරාත්මකව පැහැදිලි කර දී ඇත. ඒ අනුව, ගත යුතු හා නො ගත යුතු අාහාර වර්ග, පිළිපැදිය යුතු විහරණ ක්‍රම, නො කළ යුතු දේ ආදිය පිළිබඳ ඉදිරි ලිපියකින් කියවමු.

 

 

ශ්‍රිලංකා රජයේ හිටපු ආයුර්වේද වෛද්‍ය නිලධාරිනී,

ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි

ආයුර්වේද වෛද්‍ය, පංච කර්ම

විශේෂඥ සහ මනෝ උපදේශිකා,

වෛද්‍ය උදේනි ලියනආරච්චි

සුවෝදා ආයුර්වේද වෙද මැඳුර,

මෙල්බර්න්.

 

B.A.M.S. [Hons] - University of

Colombo, Sri Lanka

Panchakarma Special - Rajiv

Gandhi University,

Bangalore, India

Dip. Psychology &

Counselling - University of

Sri J'Pura, Sri Lanka

Tharunie