Thursday, March 28, 2024
Follow Us
ඔබේ වයස පෙන්වන කැඩපත මුහුණයි

ඔබටත් ඉන්නවා ඇති පාසල් වියේ සිටම ඔබත් එක්ක එකටම සිටි යෙහෙළියෝ. දැන් එකට ඉගෙන ගෙන ජීවිතේ එකටම ආව අය. හිතන්න තව අවුරුදු 10 ක් එපිට අනාගතය. ඔබට ඔබව දකින්න ඕනේ කොහොමද? මුහුණේ රැලි වැටිලා, සමේ තැනින් තැන මෙලනින් නිසා තද පාට ලප වැටිලා, සම එල්ලා වැටිලා සැබෑ වයසට වඩා තවත් වයස වැඩි වෙලාද? නැත්නම් අද ඉන්න විදිහටම සුන්දර සජීවී සමක් ඇතිව සතුටින් ඉන්න ඔබවද ඔබේ මතකයට ගන්න ඕනේ? කතා දෙකක් නැහැ. ඔබට ඕනේ දෙවැනි ස්වරූපයෙන් ඔබව දකින්න. දැන් හිතන්න ඔබේ අම්මා සහ අම්මගේ යෙහෙළියෝ. එතකොට ඔබට වෙනස තේරේවි. ඇතැම් අය තරුණියෝ වගේ ලස්සනට ඉන්න තමාගේ රුව බොහොම හොඳින් රැක ගත් අයයි. ඇතැම් අය වයසට වඩා වැහැරුණු මුහුණෙත් යුතු අය.

ඔබ හිතන්නේ මේ වෙනස ඇති කළේ කුමක්ද? ලස්සනට තරුණබව රැකගෙන ඉන්න අයගෙන් ඇහුවොත් ඔවුන් කියාවි ඔවුන් අනුගමනය කළ යහපත් සිරිත් ඔවුන්ගේ රුව රැක දුන්නා කියලා. ඒ වගේම එම සත්කාර කිරීම් පටන් ගත්තේ තරුණ වියේ සිටම බවත් ඔවුන් කියාවි. මුහුණේ පෙනුම පිරිහෙන්න කලින් ඔබ මුහුණ රැක බලා ගැනීම සහ සත්කාර කිරීම පටන් ගත යුතුයි. ඔබටත් වයස ගෙවෙද්දී වෙන්න ඕනේ රූමත් මුහුණක් ඇතිව සිටීම නම් මේ දේවල් ඔබේ ජීවිතේටත් අඩු නැතිව එකතු කර ගන්න හිතට ගන්න ඕනේ.

 

විශේෂ සත්කාර

නිරන්තරවම සිදුවන පරිසර දූෂණය නිසා අවට දූවිලි සහ දුම පිරිලා. එවැනි පරිසරයක ජීවත් වන, බස් වල ගමන් කරමින් පැය ගණනාවක් දුමට නිරාවරණය වෙන, කාර්යාලයේ AC එකට නිරාවරණය වෙලා සම තදින් වියැළීමට ලක් වෙන, විස සහිත ආහාර ගැනීමෙන් ශරීරයට රසායන ද්‍රව්‍ය එකතු කරන වර්තමාන තරුණියෝ අපේ අම්මලාට වඩා දෙගුණයක් වැඩි වේගයකින් වයස්ගත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තමන්ගේ මුහුණේ සියුම් සම ගැන අන් කවරදාටත් වඩා සැලකිලිමත් විය යුතු යුගයකයි අපි දැන් ඉන්නේ.

 

නිසි ලෙස පිරිසුදු කරමු

දිනපතා සම හොඳින් කුණු දූවිලි ඉවත් වෙන විදිහට පවිත්‍ර කරන්න. ඔබේ සමට ගැළපෙන අන්දමේ ෆේස් වොෂ් එකක් භාවිත කරන්න අමතක කරන්න එපා. තෙල් සහිත සමට ගැළපෙන නිෂ්පාදන වියළි සමට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදන මිල දී ගැනීමේ දී හැම විටම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ නිරාවරණය වෙන කුණු, දූවිලි, දුම් පමණක් නොවේ ඔබ විසින් ආලේප කරන මේක් අප් පවා සවසට හොඳින් සෝදා ඉවත් කළ යුතුයි. ඒ වගේම දැඩි රසායන අඩංගු සැර නිෂ්පාදන භාවිතයෙන් වළකින්න ඕනේ.

එමෙන්ම ක්ලෙන්සර් කරලා විවෘත වූ රෝම කූප ටෝනර් එකක් මඟින් හෝ අයිස් කැටයක් ඇතිල්ලීම මඟින් නැවත වසා දැමිය යුතුයි. නැත්නම් අපේක්ෂිත ප්‍රතිපලය අත් වෙන්නේ නැහැ. මසකට වරක් සැලෝන් එකකට ගිහින් ක්ලීන් අප් එකක් කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. සමේ තිබෙන අවහිර වුණ රෝම කූප යථා තත්ත්වයට ගැනීම සහ සම ඇතුළතින් ඉතාම හොඳින් පිරිසුදු වීමක් මේ මඟින් සිදු කරනවා.

හැබැයි සැලෝන් එකෙන් ක්ලෙන්ස් කරලා ඉවර වුණ ගමන් එළියේ ඇවිදලා දුම දූවිලි ඇරුණ රෝම කූප තුළින් ඇතුළට ගන්න එපා. ඒ වෙනුවට ගේ ඇතුළට වෙලා ඉන්න.

 

තෙතමනය ලබා දීම

වියළි සමක් කියන්නේ පහසුවෙන් එල්ලා වැටීමට සහ වයසට යාමට සමත් සමක්. ඒ නිසා ඔබේ සම වියළි නම් නිතරම moisturizing ක්‍රීම් එකක් ආලේප කරලා තෙතමනය ලබා දෙන්න. ඒ වගේම ජලය පානය කිරීම මඟින් සමේ වියළි බව අඩු වෙනවා.

 

අභ්‍යන්තර පෝෂණය

සතියකට දෙපාරක් පමණ මුහුණට විශේෂ සත්කාරයක් කළ හැකි නම් එය ඉතාම වැදගත්. සම අභ්‍යන්තරයෙන් පෝෂණය කිරීම එයින් අදහස් වෙනවා. මුහුණට දමන ෆේස් මාස්ක් මඟින් තමයි මෙවැනි විශේෂ සත්කාර කරන්නේ. Clay mask, peel off mask, sheet mask වගේ විවිධ වර්ගවලට අයත් මාස්ක් තිබෙනවා. ෂීට් මාස්ක් වගේ වඩාත් දියුණු සහ පහසු ක්‍රම වේද මේ වන විට ලෝකයේ තිබෙනවා. සම ඇතුළතට කා වැදිලා වයසට යාම පාලනය කරන තත්ත්වෙට තාක්ෂණයෙන් දියුණු නිෂ්පාදන වෙළෙඳ පොළට ඇවිත්. කුමන මාස්ක් එකක් ගත්තත් හැම විටම එහි ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී තිබිය යුතුයි.

 

ප්‍රමිතියෙන් යුතු දේ පමණක්

මුහුණේ ගාන ක්‍රීම්, ක්ලේන්සර්, ටෝනර් වගේ දේවල් විතරක් නෙවෙයි මේක් අප් ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ත් හැම විටම ප්‍රමිතියක් ඇති දේ පමණක් ගන්න. ලාභය තකා බාල බඩු අරගෙන ගාන්න සුදුසු තැනක් නොවේ ඔබේ මුහුණ. මොකද මුහුණ කියන්නේ ඔබේ රූපයේ වටිනාම අංගය. බාල නිෂ්පාදන නිසා එහි ලස්සන විනාශ වුණොත් ඒ විනාශය සදහටමයි. එය නැවත යථා තත්ත්වයට පත්කරන්න බැහැ.

ලබන සතියට

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

සැලෝන් මූඩ්ස්


Tharunie