Thursday, April 18, 2024
Follow Us
දරුවන්ට බෙදා හදා ගැනීම පුරුදු කරන්න ගෙදරට සුරතලෙක්

නිවෙසේ ආදරයට ඇති කරන සුරතල් සතුන් අපේ ජීවිතයට අපූරු අත්දැකීම් සමුදායක් එකතු කරයි. ඒ නිසාම නිවෙසක එක් සුරතලකු හෝ ඇති කිරීම වටිනා දෙයකි. ඒත් ඔබ සුරතලයට කියා සතෙක් ඇති කරන්නේ නම් ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි.

ඇයි අපි සුරතලකු ඇති කළ යුත්තේ? කොහොමද බලා කියා ගන්නේ? දෙන ආහාර පාන මොනවාද? අසනීපයක් වුණොත් බෙහෙතක් කරන්නේ කොහොමද? වැනි කරුණු ගැන වැටහීමක් තිබිය යුතුයි.

ඉතිං මේ ගැන ඔබව දැනුවත් කිරීමට අලුතින්ම අපි අරඹපු විශේෂාංගය තමයි "pet care"

 

බෙදා හදා ගැනීම

අද අප ජීවත්වන රටාවත් එක්ක හැමෝම කාර්යයබහුලයි. මේ නිසාම අපට නොදැනීම මානසික නිදහස අපෙන් දුරස් වෙලා. මෙන්න මේ මානසික සැහැල්ලුව, සතුට ලබා ගන්න සුරතල් සතුන් ඇති දැඩි කිරීම හරිම වටිනවා. ඒ වගේමයි වර්තමානයේ න්‍යෂ්ටික පවුල් වැඩියි. අම්මා, තාත්තා සහ එක දරුවයි. තනිව හැදෙන මේ දරුවා බෙදා හදා ගැනීම කියන එක දන්නෙම නැහැ. ඉතිං දරුවට බෙදා හදා ගැනීම හුරු පුරුදු කිරීමට වක්‍ර ක්‍රමයක් ලෙසින් සුරතල් සතුන් ඇති දැඩි කිරීම වැදගත්.

ලංකාවේ අපිට මොනවගේ සුරතල් සතුන් ද ඇති කළ හැක්කේ? එහෙම හිතනකොට එකපාරටම අපේ ඔළුවට එන්නේ බල්ලො සහ පූසෝ. ඒත් ඔබ හිතන්නෙවත් නැති විවිධ වර්ගයේ සතුන් සුරතල් සතුන් ලෙසින් අද ලංකාවේ ඇති දැඩි කරනවා.

 

අලුත්ම ට්‍රෙන්ඩ් එක

මේ සුරතල් සතුන් අතර අලුත්ම ට්‍රෙන්ඩ් එක සුරතල් කුරුල්ලෝ. ඒ අතර ගේ ඇතුළේ හදන්න පුළුවන් පුංචිම පුංචි කුරුල්ලන්ගේ සිට ලොකු කුරුලු වර්ගත් ඉන්නවා. ලංකාවට ආවේණික කුරුල්ලන් වගේම පිටරටින් ලංකාවට හඳුන්වා දුන් කුරුලු වර්ගත් ඉන්නවා.

මේ සුරතල් කුරුල්ලන් කී සැණින්ම ඔබට මතක් වෙන්නේ පරවියො. නැතිනම් Love birds ලා කියලා හඳුන්වන බජිරිගාර්ලා. එහෙත් මෙයාලගේ වර්ග සෑහෙන ප්‍රමාණයක් දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා.

ඇත්තෙන්ම සුරතල් කුරුල්ලන් ඇති කරන එක සුරතල් බල්ලෙක් ඇති කරනවාට වඩා යම් තරමකින් පහසුවක්. මේ කුරුල්ලන් ඇති කිරීමේ දී ඔබට ඉඩකඩ අනුව උස ස්ථානයක් වුව තෝරා ගත හැකියි. බොහොම කුඩා ඉඩකඩක් ඇති නිවාස සංකීර්ණවල ජීවත් වන ඔබටත් ඇති කළ හැකි සුරතල් සතුන් ලෙසින් කුරුල්ලන් හඳුන්වා දෙන්න පුළුවන්. නඩත්තුව හරිම පහසුයි. ඒ වගේමයි ආහාර වුණත් ගන්නේ හරිම පුංචි ප්‍රමාණයක්.

ඉතිං ඉස්සර අපේ ආච්චිලා, සීයලා වුණත් කියන දෙයක් තමයි ඔවුන් උදේ අවදි වන්නේ කුරුලු නාදයෙන් කියලා.

දැන් මේ නාගරීකරණයත් එක්ක ඔබට, මට මේ අනගි අවස්ථාව ගිලිහී ගිහින්. එහෙත් දුක් විය යුතු නොවෙයි. ඔබ ඔබේ ගෙවත්තේ හැකිපරිදි පුංචි කුරුලු කූඩුවක් හදා ගත්තොත් ඒ සුන්දර අත්දැකීම යළිත් යාවත්කාලීන කර ගන්න පුළුවන්.

 

දෑසට ව්‍යායාම ගෙනෙන යාළු මාළු

තවත් සුරතල් සතුන් වර්ගයක් තමයි මාළු. මසුන් ඇති කිරීමටත් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තමයි වැයවන්නේ. වත්තේ ඉඩකඩ තියෙන අයට පොකුණක් හදාගන්න පුළුවන්. පුංචි බෝතල්වල පවා සුරතල් මසුන් ඇති කරන්න පුළුවන්. මොවුන්ගෙන් අපේ අක්ෂිවලට ලැබෙන ව්‍යයාමය අති මහත්, බල්ලෙක්, පූසෙක්, කුරුල්ලෙක් හදන එක අපහසුයි කියලා හිතන ඔයාලට හොඳම විසඳුම විදියට මසුන් හදන්න පුළුවන්.

එය කාර්යබහුල ජීවිතයට, සෞඛ්‍ය සම්පන්න දිවියකට කදිම අවස්ථාවක්.

හාවෝ කියන්නෙත් තවත් හොඳම හොඳ සුරතල් සත්ත්ව කොට්ඨාශයක්. ඉතිං ඒ වගේමයි ඉබ්බො. පුංචි ඉඩකඩක් ඇති අයට මේ අය ඇති දැඩි කළ හැකියි. ඉදිරි සතිවල දී මේ සුරතල් සතුන් පිළිබඳ විස්තරාත්මකව අපි කතා කරමු.

 

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital

Tharuniw