Monday, May 06, 2024
Follow Us
ලාංකේය කතුන් බහුතරය මුහුණ දෙන රෝගයක්

මුත්‍රා දැවිල්ල හංගන්න නම් එපා...

"මුත්‍රා දැවිල්ලක් හැදිලා මේ දවස්වල හරිම අපහසුවෙන් ඉන්නේ. ඔෆිස් යන්නවත් හිතෙන්නෙ නෑ.""ඔයා ආයුර්වේද බෙහෙත්වලට යොමු වෙන එක තමයි හොඳම විසඳුම. මම දන්න කෙනෙක් ඔය මුත්‍රා දැවිල්ල හොඳ කරගත්තේ ආයුර්වේද බෙහෙත්වලින්". චන්දිමා තම යෙහෙළිය අනුරාධාට එහෙම කිව්වේ හිතවත්කමටයි.

 

මුත්‍රා දැවිල්ලේ දී ඇතිවන වේදනාව නිසා එය කිසිසේත්ම සඟවාගෙන සිටින්නට බැහැ. මේ තත්ත්වය ආයුර්වේද පොතපතේ 'මුත්‍ර කෘච්ඡය' 'මුත්‍රා දාහය' යන වචනවලින් හඳුන්වා ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මුත්‍රා දැවිල්ල ලෙස හැඳින්වෙන මේ තත්ත්වය වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රා ආසාදනය ලෙස හැඳින්වීම වඩා නිවැරැදි වේ.

 

මුත්‍රා දැවිල්ල ඇති බවට හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?

* නිතරම පවතින මුත්‍රා කිරීමේ තදබල අවශ්‍යතාව

* මුත්‍රා පිටකිරීමේ දී වන දැවිල්ල

* වරින්වර ස්වල්ප වශයෙන් මුත්‍රා පිටවීම

 

* රාත්‍රියේ දී ත් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව

* සමහර විට මුත්‍රා බර පාලනය කිරීමට නොහැකි වීම

* පාලනයකින් තොරව ස්වල්පය බැගින් මුත්‍රා පිටවීම

* මුත්‍රා තද කහ හෝ රතු පැහැති වීම

* මුත්‍රා සමඟ ලේ පිටවීම

* මුත්‍රාවල ගන්ධය වෙනස්වීම

* සහකරු සමඟ එකතුවීමේ දී වේදනාව

* යෝනිය හෝ ශිෂ්ණයේ වේදනාව

* තුනටිය ආශ්‍රිත වේදනාව

* වෙහෙස දැනීම

* සීතල සමඟ උණ

* සමහර විට වමනය

 

මේ ලක්ෂණ සියල්ල එකම විටෙක එකම පුද්ගලයකුට අත්විඳීමට සිදු නො වෙතත් ඉන් කිහිපයක් හෝ පවතින්නේ නම් තමාට මුත්‍රා ආසාදනයක් පවතින බවට අනුමාන කළ හැකියි. මුත්‍රා දැවිල්ල හෝ මුත්‍රා ආසාදන ඇතිවීම පුරුෂ, කාන්තා දෙපාර්ශ්වයට ම පොදු තත්ත්වයක් වුවත් කාන්තාවන්ට පුරුෂයන්ට වඩා මුත්‍රා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි.

පුරුෂයකුගේ මුත්‍රා මාර්ගය සෙන්ටිමීටර් 15 ත් හෝ 20 ත් පමණ දිගු වන අතර කාන්තාවකගේ එය සෙන්ටිමීටර් හතරක් පමණ වේ. මුත්‍රා පද්ධතිය සාපේක්ෂව ඉතා කෙටි දුරකින් බාහිරට නිරාවරණය වීම ම කාන්තාවන් බහුල ලෙස මේ රෝගයට ලක්වීමට හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

කාන්තාවකගේ මුත්‍රා දැවිල්ලට හේතු විවිධාකාර වේ. එයින් ද එක් එක් වයස් කාණ්ඩවල මුත්‍රා දාහය ඇති වීමට බලපාන සුලබ කාරණා පවතී.

 

බාල වියේ දී (අවු:1 - 12)

* නිසි පරිදි ජලය පානය නො කිරීම

* අවශ්‍යතාව ඇති විට මුත්‍රා පිට නො කර දරාගෙන සිටීම

* යට ඇඳුම් භාවිතයේ වැරැදි පුරුදු

* සෙල්ලම් කිරීම ආදීයේ දී බිම ඉඳ

ගැනීම ආදියෙන් විසබීජ ඇතුළු වීමට ඇති ඉඩකඩ වැඩි වීම.

 

නව යෞවනියන්

(අවු: 12 - 18)

* ප්‍රමාණවත්ව ජලය පානය නො කිරීම සහ නිසි පරිදි මුත්‍රා බැහැර නොකිරීම

* ඔසප් චක්‍රය ආශ්‍රිත හෝමෝන වෙනස් වීම නිසා

* පෞද්ගලික සනීපාරක්ෂාව සඳහා වේලාව අවම වීම

 

විවාහක වයසේ තරුණියන්

* විවාහ වූ අලුත ඇතිවන (honymoon cystitis) තත්ත්වය

* උපත් පාලන ක්‍රමවල දී ඇතිවන බලපෑම්

මැදි වයසේ දී

* උපත් පාලන ක්‍රම

* ගර්භාෂගත හෝ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වර්ධනයන් ආර්තවහරණයේ දී

* හෝර්මෝනවල වෙනස්වීම්

* පටකවල වෙනස් වීම්

* ගර්භාෂය, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය පහත් වීම

 

කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මොනවා ද ?

 

මුත්‍රා පරීක්ෂණය

1. මුත්‍රා සාම්පලයක් ලබාගෙන එහි සංයුතිය පරීක්ෂා කිරීම මෙහිදී සිදු වේ. මුත්‍රාවල අඩංගු රතු රුධිරාණු, සුදු රුධිරාණු අනෙකුත් සංඝටක හා ප්‍රතිශතය ගණනය

2. මුත්‍රා සාම්පල පරීක්ෂාව

(Culture test)

මුත්‍රාවල පවතින විසබීජ/බැක්ටීරියා වර්ග හඳුනා ගැනීමට මෙය ඉවහල් වේ.

 

මුත්‍රා ආසාදන ඇතිවීමට හේතු

 

* වයස්ගත වීමේ දී මුත්‍රා ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය

* ගර්භණීන්ට ද මෙහි බහුලතාව වැඩිය

* ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම

* ඌෂ්ණ පරිසර තත්ත්වවලට නිතර නිරාවරණය

* පුද්ගල දෝෂ තත්ත්වයන්ට නො ගැළපෙන ආහාර පාන නිතර ගැනීම. උදාහරණ: රඹුටන්, මැංගුස්, දැල්ලන්, බලමාළු

* දියවැඩියා රෝග තත්ත්වය

මුත්‍රා දැවිල්ලෙන් අත් මිදීමට කළ හැකි සරල පිළියම්

 

* දිනකට වතුර වීදුරු 6ක් 8ක් පමණ පානය

* මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දිගු වේලාවක් දරා නො සිටීම

* කායික සබඳතාවලින් අනතුරුව පවිත්‍ර වීම

* ශරීරයට ගැළපෙන ප්‍රමාණයේ යට ඇඳුම් ඇඳීම

* යට ඇඳුම්වල පවිත්‍රතාව

* දියවැඩියාව වැනි රෝග තත්ත්ව නිසි ලෙස පාලනය

 

ආයුර්වේද ඖෂධ

සාරණ - මුත්‍රා ගත රෝග සඳහා ඉතා ගුණදායක ශාකයකි. රෝග වැළැක්වීම සේම ආසාදනයන් හා ඉදිමීම් පාලනයට ද ගුණදායකය. සාරණ ව්‍යංජනයක් සේ ආහාරයට ගැනීම හෝ මුල සමඟ තම්බා පානය ද ගුණදායකය.

 

වැල්මී - වැල්මී වැලෙහි කඳ කොටස අමුවෙන් හෝ වියළා මුත්‍රා රෝග සඳහා යොදා ගනී. එහි ඇති උණ/ජ්වරය පාලනය කිරීමේ ගුණය ද මෙහිදී වැදගත්ය. වැල්මී තම්බා හකුරු හෝ සීනි සමග පානය කළ හැකියි.

 

කැකිරි - සිරුර සිසිල් කරන කැකිරි මුත්‍රා පද්ධතියේ නිරෝගී බවට වැදගත් එළවළුවකි. කැකිරි ව්‍යංජනයක් සේම කැකිරි ඇට ජලයට දමා තබා පානය කිරීම ද සුදුසුය. මෙලෙසම ඉදුණු සීනි කැකිරි සීනි හෝ පැණි සමඟ පානයක් ලෙසත් නිර්දේශ කළ හැකියි.

කොත්තමල්ලි - ආසාදන වැළැක්වීම, ජ්වරය පාලනය සේම මුත්‍රා පිරිසුදු කිරීමට ද හැකියාවක් පවතී. වියළි කොත්තමල්ලි ඇට කබලේ බැද කුඩුකර මේස හැන්දක ප්‍රමාණය නටන වතුර කෝප්ප එකකට දමා වසා තබා කෝපි මෙන් මෙන් පානය කිරීම.

නීරමුල්ලිය - නීරමුල්ලිය අමුවෙන් ව්‍යංජනය හෝමුල තම්බා පානය කිරීම මුත්‍රා ආසාදන සුව කරයි.

කොත්තමල්ලි - ආසාදන වැළැක්වීම හා මුත්‍රා පිරිසුදු කිරීමට ද හැකියාවක් පවතී. වියළි කොත්තමල්ලි ඇට කබලේ බැද කුඩුකර මේස හැන්දක ප්‍රමාණය නටන වතුර කෝප්ප එකකට දමා වසා තබා කෝපි මෙන් පානය කිරීම.

නීරමුල්ලිය - නීරමුල්ලිය අමුවෙන් ව්‍යංජනයක් ලෙස හෝ මුල් තම්බා පානය කිරීම මුත්‍රා ආසාදන සුව කරයි.

පොල්පලා - අප ගෙවතුවල ඉබේ වැවෙන පොල්පලා ශාකය මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයෙන් යුතුය. මුත්‍රා ගල් සඳහා ද මෙය සුවදායකය. කොළ කැඳ සේම ළපටි දලු සම්බෝලය හෝ පොල් කිරි දමා ව්‍යංජනය ද සුදුසුය.

අක්කපාන - දේශීය වෙදකමෙහි මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ගැටලු සඳහා භාවිත වන පැළෑටියකි. අක්කපාන ළපටි පත්‍ර ලුණු, මිරිස්, දෙහි දමා සාදන සම්බෝලය මුත්‍රා ගැටලු සහිත පුද්ගලයන්ට සුදුසු වේ.

කස කසා ඇට - සිසිල් ජලයේ පොඟවා ගත් කස කසා ඇට සිරුර සිසිල් කරනවා සේම මුත්‍රා දාහය ද වළක්වයි. ජලයට දමා පෙඟුණු පසු පානයට ද කැකිරි, පිපිඤ්ඤා, පැණි කොමඩු සමඟ පානයට ද නිර්දේශ කළ හැකියි.

රණවරා - රණවරා ශාකයෙහි ගෙඩි, මල්, කොළ, පොතු හා මුල් යන පංචාංගයම ඖෂධ සඳහා භාවිත වේ. වියළාගත් රණවරා මල් ඖෂධීය පානයක් සේ භාවිත කළ හැකියි. ළපටි කොළ මැල්ලුම් ඖෂධීය ගුණයෙන් යුතුය.

සුදු හඳුන් - සුදු හඳුන් අරටුව සිරුර සිසිල් කිරීමේ හැකියාව ඇති ඖෂධයකි. සුදුහඳුන් කුඩු සහිත ඖෂධ මුත්‍රා අපහසුතා සඳහාත් භාවිත කරයි. එහි ළපටි කොළ බොහෝ දෙනකු නො දනිතත් සම්බෝල ලෙස ආහාරයට ගනී.

හාතවාරිය - පිත සමන ගුණයෙන් අනූන හාතවාරිය කොළ මෙන්ම අලය ද ඖෂධ පිණිස භාවිත වේ. හාතවාරිය කොළ කැඳ මුත්‍රා අපහසුතා පවතින පුද්ගලයන්ට නිතිපතා භාවිතයට හිතකර වේ.

Tharunie