Monday, May 06, 2024
Follow Us
ඔබ නො සිතන වත්කමක් ළඟම තියෙනවා....

මෙන්න රහසක්...

‘මේ රට යන අත හොඳ නැහැ' මේ දවස්වල හැමෝම වගේ හිතන්නේ එහෙමයි. ඒ නිසා හොඳ අතකට යන රටක් බලලා යන එක හැමෝගෙම සිහිනයක්. පිරිසක් පිටරට පදිංචියටම යන්න හදනකොට තවත් අය කීයක් හරි හොයාගන්න රැකියාවක් සොයාගෙන රට යනවා.

 

ඉතිං මේ මොහොතේ ඇති එකම විසඳුම එය කියා හිතුවත් රට යන්න වත්කම පෙන්නන්න වෙනවා. කාටත් මේ අමාරු කාලයේ වත්කම පෙන්නන්නේ කොහොම ද?

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එය ඔබට තවත් පහසු කර තිබෙනවා.

පවුම් 12න් මිලියන දෙකක්

 

පිළිගත් විදේශ රැකියාවකට හරි, උසස් අධ්‍යාපනයකට හරි, ශිෂ්‍යත්වයකට හරි, ස්ථිර පදිංචියට (PR) හරි විදේශ ගතවීම දැන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිහින්. ඉතින් VISA සඳහා අයදුම් කිරීමේ දී ඔබට ඔබේ වත්කම් තක්සේරු කර එය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම කරුණක්. ඒ ඒ රට අනුව පෙන්විය යුතු තක්සේරු වටිනාකම් හා තක්සේරු ඉදිරිපත් කළ යුතු අකාර වෙනස් වෙනවා. ඉඩම් හෝ දේපොළ මඟින් මේ දේ කරගන්න ගියාම ටිකක් රස්තියාදු වෙන්න වෙයි.

ඒත් ඔබ නො සිතන වත්කමක් ඔබ ළඟම තිබෙනවා. ඒ තමයි රත්තරන්. රත්තරන් මිල පසුගිය මාස 4 ක කාලයේ වටිනාකම 70% කින් පමණ ඉහළ ගිහින්. එමඟින් ඔබට ලෙහෙසියෙන්ම ලක්ෂ 20ක් වගේ වටිනාකමක් සහිත වත්කමක් පෙන්නන්න මේ කාලසීමාවේ අවශ්‍ය වෙන්නේ කැරට් 22 රත්තරන් පවුම් 12ක් (ග්‍රෑම් 96) වගේ ප්‍රමාණයක්. මේක ඔබේ මවගේ, පියාගේ හෝ ඔබේම සහෝදර සහෝදරියන්ගේ රත්තරන් භාණ්ඩ එකතුකර ගැනීමෙන් පහසුවෙන් සිදුකළ හැකියි. මිලදී ගත් රිසිට්පත් ඇත්නම් අනන්‍යතාව තහවුරු කරගැනීමට එය උපකාරී වේවි. නිල වීසා උපදේශක වරයකුගේ සහය ලබා ගන්නේ නම් නිවැරැදි මාර්ගෝපදේශය ඔවුන් විසින් සපයනු ඇත.

 

එකම රාජ්‍ය ආයතනය

 

රත්තරන්වල තක්සේරුවක් කරන්න පුළුවන් පිළිගත් එකම රාජ්‍ය ආයතනය වන්නේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියයි. එහි පිහිටා ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය මඟින් ඔබට එම කාර්යය පහසුවෙන් කරගත හැකියි. එම කාර්යාංශය අධිකරණ, රක්ෂණ , මහ බැංකු - බැංකු , රේගු හා රාජසංතක කිරීම් යන අංශ යටතේ රත්තරන් හා අනිකුත් වටිනා ලෝහ සඳහා පිළිගත් තක්සේරු වාර්තා නිකුත් කරන එකම රාජ්‍ය ආයතනයයි.

තක්සේරු වාර්තා අනිවාර්යයෙන්ම VISA කාර්යාල පිළිගත් ආයතනයකින් නිකුත් කළ යුතුයි. ස්වර්ණාභරණ අලෙවිසලකින් හෝ වෙනත් ක්‍රමවේද මඟින් රත්තරන් සඳහා තක්සේරු වාර්තා ගෙන ඉදිරිපත් කිරීමෙන් ඔබේ VISA ප්‍රතික්ෂේප විය හැකියි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය (JEWELLERY TESTING AND VALUATION) අන්තර්ජාතික වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති අතර ආභරණ මුද්‍රා තැබීම පිළිබඳ අන්තර්ජාතික වියානා සම්මුතියෙහි නිරීක්ෂණ සාමාජිකයෙක් ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් එම වාර්තා සඳහා ජාත්‍යන්තර ලෙස පිළිගැනීමක් ඇත. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, බැංකු, රේගු හා රක්ෂණ සඳහා දැනට තක්සේරු වාර්තා නිකුත් කරන්නේ මේ කාර්යාංශය මඟින් පමණි.

තක්සේරු කිරීම සඳහා නියුක්ත කාර්යය මණ්ඩලය ද රත්තරන් පරීක්ෂා කිරීම හා තක්සේරු කිරීම පිළිබඳ අන්තර්ජාතික සුදුසුකම් සහිත පිරිසකි.

 

තක්සේරුවක් කරගන්නේ කොහොමද?

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හරහා පමණයි තක්සේරු වාර්තා නිකුත් කරන්නේ. මේ දිනවල තක්සේරු වාර්තා ලබාගැනීම සඳහා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් කලින් වේලාවක් වෙන්කරගැනීම අනිවාර්යයි. දිනකට උපරිම තක්සේරු වාර්තා 3ක් හෝ 4ක් පමණයි සිදුකළ හැක්කේ. මේ සඳහා ඔබ 0112390652 ඔස්සේ සතියේ දිනවල උදේ 8.30 සිට සවස 4.15 දක්වා අමතා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න. සාමාන්‍යයෙන් තක්සේරු වා‍ර්තාවක් නිකුත් කිරීම සඳහා අදාළ අයිතම ප්‍රමාණය මත පැය 3-4 ක කාලයක් ගතවනු ඇත. ස්වර්ණාභරණ භාර දී රිසිට්පත ලබාහෙන ඔබට අවශ්‍ය වෙනත් කටයුතු කරගැනීමට පිටත්ව යා හැකි අතර එසේ අවශ්‍ය නැතිනම් එම ස්ථානයේ රැඳීසිටීමට පහසුකම් සලසා තිබේ.

රත්තරන් පරීක්ෂා කිරීමට (ISO 11426) භාවිත කරන්නේ දැනට ලෝකයේ භාවිත වන අති නවීන තාක්ෂණික උපකරණයි. මෙහිදී ඔබේ රන් භාණ්ඩයට කිසිදු හානියක් හෝ බර අඩුවීමක් සිදු නොවේ. එම රන් භාණ්ඩ එකින් එක වෙන වෙනම පරීක්ෂා කිරීම්වලට භාජනය වන අතර එහිදී ඔබේ රන් භාණ්ඩයේ නියම කැරට් ප්‍රමාණය බර හා වටිනාකම ගණනය කිරීම සිදුවේ. එම අධිතාක්ෂණික රසායනාගාරය ලංකාවේ දැනට පිහිටා ඇති එකම අන්තර්ජාතික මට්ටමේ ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රාජ්‍ය රසායනාගාරයයි.

 

ඒ සඳහා අවශ්‍ය දේ

 

විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, ස්වර්ණාභරණ (රත්තරන්, රිදී හා ප්ලැටිනම් පමණි). VISA අයදුම් කරන රට පිළිබඳ ලියවිල්ලක් (OFFERING LETTER - ජායාරූපයක් ප්‍රමාණවත්). මේ ලියකියවිලි සමඟ අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යාන පාර, කොළඹ 03 පිහිටි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය,

වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයට පැමිණෙන්න. අනුමත ගාස්තු ලෙස තක්සේරු වටිනාකමින් 2% + VAT ලෙස අයකරයි. එය DEBIT/ CREDIT CARD මඟින් හෝ CASH මගින් ගෙවීමට පහසුමක් සලසා ඇත.

ඔබ තක්සේරුවට භාරදෙන රත්තරන් සඳහා එම කාල සීමාව තුළ පූර්ණ ආරක්ෂාව විශ්වාසවන්ත භාවය ලබාදීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බැඳී සිටින අතර රාජ්‍ය ආයතනයකට එහා ගිය උසස්, සුහදශීලී හා කඩිනම් සේවාවක් ද සපයයි.

නිරාකරණය කරගත යුතු යම් ගැටලුවක් වේ නම් දුරකථන අංක 0112390652 ට අමතන්න

 

 

 

උපදෙස්

ඉන්දික බණ්ඩාර

සහකාර අධ්‍යක්ෂ

(වටිනා ලෝහ විශ්ලේෂණය හා තක්සේරු කිරීම)

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

Tharunie