Saturday, April 27, 2024
Follow Us
මුහුණේ මාංස පේශි ශක්තිමත් කරන ෆේස් යෝගා

ලස්සනට ඉන්න, ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න අපි කවුරුත් කැමැතියි. ඉතින් ඒ නිසා මුහුණේ සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමට අපේ කාන්තාවන් විවිධ ක්‍රම භාවිත කරනවා. දැන් වැඩි දෙනෙක් ෆේස් යෝගාවලට යොමු වන්නේ රූපලාවණ්‍ය ආලේපනවලින් ලැබෙන තාවකාලික සුන්දරත්වයට වඩා වැඩි සුන්දරත්වයක් ලබා ගත හැකි නිසයි.

තරුණ සමක් ලබා ගැනීම හීනයක් වුණු අයට මේ ෆේස් යෝගා වැදගත් වේවි. අවුරුදු 40 සිට 65 දක්වා කාන්තාවන්ගේ මුහුණේ මාංස පේශිවලට ශක්තිමත්, ස්ථීර සහ පිරුණු පෙනුමක් ලබා ගැනීම සඳහා මේ ව්‍යායාම දිනකට විනාඩි 30 කිරීම ප්‍රමාණවත් වේ.

පළමුව සමබරව මුහුණ ඍජුව තබාගෙන ඉදිරිය බලන්න. ඉන්පසු දෑත් කම්මුල් දෙපසට යවමින් දෙඅත්ලෙන් කම්මුල් දෙපස තෙරපන්න. එමඟින් මුහුණේ මාංස පේශීන් ළිහිල් වී ව්‍යායාම කිරීමට සුදුසු තත්ත්වයට පත් වේ.

ඉන්පසු දෑත් නළල දෙසට ගෙන යන්න. දෑත් නළල දෙපසින් තබා ඉහළට තෙරපන්න. මෙමඟින් නළලේ රැලි වැටීම අවම කරයි. දැන් ඇඟිලි තුඩු දෑස් දෙපසින් තබා දෑත් දෙපස සෙමින් සම්බාහනය කරන්න.

ඉන්පසු දෑත්වල ඇඟිලි මිට මොළවාගන්න. මීට මොළවාගත් අත් දෙක තොල් මත තබා රවුම් ආකාරයට සම්බාහනය කරන්න. මෙය සුන්දර දෙතොලක් ලබා ගැනීමට කදිම සම්බාහනයකි.

ඇඟිලි දෙකක් මුඛය දෙපස තබා ඇඟිලි දෙපසින් උඩට පහළට මාංස පේශීන් තෙරපන්න. මෙයින් කම්මුල් එල්ලා වැටීම පාලනය කරයි.

නැවත නළල පෙර පරිදිම සම්බාහනය කර ඇඟිලි තුඩුවලින් ඇහි බැම තෙරපන්න.

ඇස් යට කළු වීම වගේම මලානික ඇස්වලටත් මෙය ප්‍රතිකාරයකි. රූප සටහන මඟින් මේ ෆේස් යෝගා ක්‍රම පිළිබඳ ඔබට වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

නයනා කුමාරි

Salon Nayana Art

Tharunie