Thursday, March 28, 2024
Follow Us
ජීවිතය ගැන සුබවාදී බලාපොරොත්තු තබා ගන්න

කුමනාකාරයේ අනපේක්ෂිත සිදුවීමක දී වුවත් ඔබ පළමුවෙන් ම කළ යුත්තේ කලබල නොවීමයි

ජීවිතය අප කරන සැලසුමකට අනුව පවත්වාගෙන යා හැක්කක් නොවේ. එහි අනපේක්ෂිත සිදුවීම් කොතෙකුත් පවතී. අපගේ අපේක්ෂාවකින් තොරව සිදුවන එවැනි සිදුවීම් නිසා ජීවිතයට විවිධාකාරයේ බලපෑම් ඇති වේ.

 

අනපේක්ෂිත සිදුවීමක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන පසුගිය සති දෙකේ දී අපි සාකච්ඡා කළෙමු. ඒ පිළිබඳ තවත් තොරතුරු අද ලිපියෙන් ද ඔබට ලබා ගත හැකියි. අනපේක්ෂිත සිදුවීමක් ලෙස ඔබට හදිසි අනතුරු සිදුවීම, ආර්ථික අපහසුතා, රැකියාව අහිමිවීම, නිවෙස නැති වීම, වාහනය නැති වීම, ව්‍යාපාරය අහිමි වීම ආදී දේ දැක්විය හැකියි.

කුමනාකාරයේ අනපේක්ෂිත සිදුවීමක දී වුවත් ඔබ පළමුවෙන් ම කළ යුත්තේ කලබල නොවීමයි. කලබල වීමෙන් හෝ කෝප වීමෙන් සිදු වන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය තවත් සංකීර්ණ වීමයි.

අපගේ භෞතික සම්පත් කොතරම් අහිමි වුවත් ජීවිතය රැකී තිබේ නම් වැදගත් ම දේ වන්නේ එයයි. අනෙකුත් සම්පත් අපට ක්‍රමයෙන් උපයා සපයා ගත හැකියි. ස්වභාවධර්මය අපට ජීවත් වීමට අවශ්‍ය මූලික දෑ සපයා තිබේ. අප විනාශ නොකළොත් හුස්ම ගැනීමට පිරිසුදු වාතය, ආහාර සඳහා ගස්වල ඇති පලතුරු, බීමට ජලය ලබා දී ඇත. ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන්, ධන කුවේරයන් වුවද මියයන අවසන් මොහොතේ දී ඉල්ලන්නේ යාන වාහන, මිල මුදල් නොවේ. ජීවිතය යි.

ඒ නිසා කුමන තත්ත්වයකට පත් වී හෝ ජීවිතය ඉතුරු වී ඇත්නම් අප ඒ ගැන සතුටු විය යුතුයි. සරල ජීවිතයකට හුරු වෙන්න. දරුවන් හුරු කරන්න. එවිට ජීවත් වීම පහසු වේ.

අප සතු දේවල් නැති වූ විට අනෙක් අය එයට කුමනාකාරයේ කතා කියාවිද? කුමන දේවල් සිතාවිද යන්න ගැන සිතමින්බොහෝ දෙනෙක් මානසිකව පීඩා විඳිති. මතක තබා ගන්න, එසේ සිතන්නේ නම් ඔබ මෙතෙක් ජීවත් වී ඇත්තේ ඔබට අවශ්‍ය පරිද්දෙන් නොවේ.

ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට යි. ඔබ ක්‍රියා කොට ඇත්තේ ඔබේ සැනසීම, සතුට සඳහා නොවේ. ඔබට මෙතෙක් අවශ්‍ය වී ඇත්තේ අනෙක් අය පුදුම කරවීමට, තමාගේ තත්ත්වය අනෙක් අයට පෙන්වීමට වැනි පුහු දේවල් සඳහා ය.

බොහෝ දෙනා ජීවිතය වරද්දාගෙන ඇත්තේ එතැනයි. අපේ රටේ බොහෝ තරුණියන් තම විවාහ මංගල උත්සවය පවත්වන්නේ තමාගේ අවශ්‍යතාවයට වඩා ඥාතීන්ගේ වුවමනාවට, තවත් කෙනකු පැවැත්වූ විවාහ උත්සවයට වඩා ලොකු උත්සවයක් ගැනීමට වැනි කාරණා මුල් කරගෙනයි. එමනිසා තමාට නොහැකි වුවත් රටට ලෝකෙට ණය වී හෝ ඉතාමත් උත්කර්ෂවත් විවාහ උත්සවයක් ගනී.

අද බොහෝ දෙනෙක් ජීවත් වන්නේ තමාගේ ජීවිතය විඳීමට නොව, අනුන්ට පේන්නටයි. නිවෙසක් සෑදීමේ දී වුවත් පවුලේ සාමාජිකයන් තුන් හතර දෙනෙක් සිටියත් කාමර වැඩි විසල් නිවෙසක් සාදා එම නිවෙස සෑදීමට ගත් ණය ජීවිත කාලය පුරාම ගෙවයි. තමාගේ අසල්වැසියන් සෑදූ නිවෙසට වඩා ලොකු නිවෙසක් සෑදීම නිසා ණයකරුවන් වනවාට වඩා තමාගේ අවශ්‍යතාව පරිදි සාමාන්‍ය නිවෙසක් සාදා ගැනීමෙන් ණයතුරුස් නැතිව හිතේ සැනසිල්ලෙන් ජීවත් විය හැකියි.

ලීසිංකර ඉතාමත් සුඛෝපභෝගී මිල අධික වාහනයක් ගෙන මාස් පතා දැරීමට අසීරු ණය වාරික ගෙවීමට දවල් රෑ නැතිව වෙහෙසෙමින් සිතේ කනස්සල්ලෙන් ජීවත් වන අය ඔබත් දන්නවා ඇති. නමුත් තමාට දැරීමට හැකි මිලකට වාහනයක් තමාගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ගැනීමෙන් ලැබෙන්නේ සහනයක්. ඔබ ණයක් ගන්නවා නම් එම ණය හැකි උපරිම ප්‍රමාණයෙන් ගැනීමට නොව, උත්සුක විය යුත්තේ කුමනාකාරයේ අපහසුතාවක් මත වුවත් තමාට මාසිකව ගෙවිය හැකි වාරිකයක් ඇතිව ණය ලබා ගැනීමයි.

අනුන් සතුටු කරන්නට යාම තමාගේ සැනසිල්ල නැතිකර ගැනීමකි. මිනිසුන්ගේ ස්වභාවය වන්නේ අප කුමක් කිරීමට ගියත් කුමක් හෝ දෙයක් පැවසීමයි. උදාහරණයක් ලෙස පැවසුවහොත් හොඳින් අධ්‍යයන කටයුතු කළ ළමයකුට හොඳින් සමත් වීමට නොහැකි වුවහොත් පවසන්නේ 'දඟලගෙන පාඩම් කළාට විශ්ව විද්‍යාලෙට යන්න ලකුණු මදිලු නේද? ලෙසයි. 'මෙච්චර හොඳට ඉගෙනගෙන ඇයි කලා කරන්නේ.. අපරාදෙ..' උපාධිය ලබා ගත් පසුව අසන්නේ 'මෙච්චර හොඳට ඉගෙනගෙන හරි රස්සාවක් හොයාගන්න බැරිවුණා නේද?' කියායි. තවත් ටික කාලෙකින් පවසන්නේ රස්සාවත් තියෙන එකේ කසාදයක් කරගත්තා නම් හොඳයි නේද?' ලෙසයි. විවාහ වූ පසුව 'ළමයෙක් හිටියා නම් හොඳයි නේද..' ලෙසද දරුවකු සිටින විට පවසන්නේ 'මෙයාගෙ තනියකට තව දරුවෙක් හිටියා නම් නේද හොඳ?' ලෙසයි. බලන්නකෝ අප ජීවත් විය යුත්තේ අපට හැකි හා අපට අවශ්‍ය ආකාරයටයි.

මේ නිසා අනුන් සතුටු කිරීමට නොව, තමාගේ සතුට පිණිස කටයුතු කරන්න. කුමනාකාරයේ දේවල් කළත් අපට ජීවත් වීමට ඇත්තේ ඉතා කුඩා කාල සීමාවක් පමණි. ඒ නිසා අනුන් මවිත කිරීමට නොයන්න. තමාට දැනෙන අයුරින් ජීවත් වන්න.

කුමනාකාරයේ තත්ත්වයක් යටතේ වුවද අප ජීවත් කරවන්නේ බලාපොරොත්තු ය. බලාපොරොත්තු හා සිහින අතර ලොකු සහ සම්බන්ධතාවක් පවතී. නමුත් ඔබේ සිහින බිඳ වැටුණත් ඔබේ බලාපොරොත්තු අතහැර නොගන්න.

සිහින වෙනුවෙන් ඇති කාලය වකවානු හදාගෙන අපි ඒ වෙනුවෙන් වැඩ කරන විට එය ඉලක්කයක් බවට පත්වේ. බලාපොරොත්තු ලෙස පවසන්නේ සිහින බිඳ වැටෙද්දී අප තුළ යම් බලාපොරොත්තුවක් තබා ගෙන සිටින්නේ මේ කරදර සියල්ල නිම වී මම අපේක්ෂා කරන ආකාරයට ජීවත් වීමට හැකියාව ලැබේවි යන්නයි.

ශල්‍යකර්මයකට බඳුන්වෙන රෝගියකු සතුව ඇත්තේ ද මේ සැත්කමෙන් පසුව තමා නිරෝගී වේවි යන ධනාත්මක බලාපොරොත්තුවයි. අප ගෙවන අසීරු කාලසීමාව ද රෝගී වී ඇති කාලයක් ලෙස සිතා මේ සියල්ල නිම වී නිරෝගී යහපත් කාලයක් උදාවන බවට සුබවාදී බලාපොරොත්තුවක් තබා ගන්න. අනපේක්ෂිත සිදුවීමක දී වුවත් මෙය ඔබට ප්‍රකෘති ජීවිතය ළඟාකර ගැනීමට පහසුවක් ම වේවි.

සුබවාදී බලාපොරොත්තුවලින් ජීවිතය දෙස බලමු. හෙට අපට හොඳ දිනයක් ලබා ගැනීමට අද වෙහෙස වී වැඩ කරමු.

 

ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු

(Tharunie)