Friday, May 03, 2024
Follow Us
අක්මා රෝග දරුණු වන තුරුම හඳුනා ගන්න බැහැ

අක්මාව නීරෝගිව තබා ගැනීමට නම් අප හැකි තරම් සීනි අඩංගු ආහාර සීමා කළ යුතුය. වැඩි මේදය සීනි බවට හැරවීම අක්මාවේ ප්‍රධාන කාර්යයකි. පමණට වඩා සීනි අඩංගු ආහාර ගත් විට පමණට වඩා මේදය නිපදවෙනවා. එහි අවසන් ප්‍රතිඵලය අක්මාවේ මේදය වැනි තත්ත්ව ඇති වීමයි.

හොඳින් ජලය පානය කිරීම, ග්‍රීන් ටී, කෝපි පානය, ආමන්ඩ්ස්, පලා වර්ග, ඕට්මීල් ආහාරයට ගැනීම අක්මාවට හිතකරයි.

නිතර තෙල් අධික ආහාර ගැනීම මඟින් අක්මාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පාන අතර ප්‍රදාහයට පත්වීමේ අවදානම වැඩි වෙයි. එයින් සිරෝසිස් ඇති වීමේ අවදානමක් ද ඇති වෙනවා.

අප වැඩි පුර තෙල් රසට ලුණු රසට පැණි රසට ආහාර ගන්නා මේ කාලයේ රිදෙන්නේ හදවතට පමණක් නො වෙයි. දියවැඩියාව, ආඝාතය වැනි රෝග රැසක් මෙවැනි ආහාර සමඟ අපේ මතකයට නැඟුණත් අක්මාව ගැන සිහි වන්නේ ම නැහැ නේද ?

අක්මාව නිසි ලෙස ක්‍රියා නො කළොත් අපේ සිරුරට ආසාදන හා රෝග සමඟ සටන් කිරීමේ හැකියාව අඩුවී යනවා. අක්මාවෙන් කාර්යයන් රැසක් සිදු වෙනවා.

රුධිරයේ සීනි මට්ටම නියමිත පරිදි පවත්වා ගෙන යනවා.

සිරුරින් විස ඉවත් කරනවා.

කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරනවා.

තුවාලයක් සිදුවූ විට රුධිර කැටි ඇතිකර රුධිරය ගැලීම නතර කරනවා.

සිරුරට අවශ්‍ය ප්‍රෝටීන ගණනාවක් නිපදවනවා.

ජීර්ණයට උපකාර වන පිත නිපදවනවා. මේදය බිඳ හෙළා ජීර්ණයට වඩාත් පහසු තත්ත්වයට පත් කරන්නේ පිතයි.

ඖෂධ, ඉන්සියුලින් ඇතුළු අනෙක් හෝර්මෝන බිඳ හෙළීම සිදුකරයි.

මෙතරම් වටිනා කාර්ය භාරයක් සිදු කරන අක්මාව බොහෝ විට ලෙඩ වන්නේ අපේම වරදින්. ජාන ගතවත් අක්මා රෝග ඇති විය හැකි නමුත් අප ගන්නා ආහාර පාන, ජීවන රටාව, අධි බර, තරබාරුව, දියවැඩියාව ප්‍රධාන වශයෙන් ම අක්මා රෝගවලට හේතු වෙනවා. අද කාලයේ අක්මාවේ ප්‍රධාන සතුරන් වී සිටින්නේ තරබාරු බව, හෙපටයිටිස් හා මධ්‍යසාරයි. මතු වතුර නිසා ඇතිවන සිරෝසීස් වගේ ම මත් වතුර භාවිත නො කර සෑදෙන අක්මාවේ මේදය නිසා ඇතිවන රෝග තත්ත්වය ද අද සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා.

අක්මාවේ මේද තත්ත්වයේ මුල් අවස්ථාවේදී එතරම් හානියක් නො වුණත් එය සිරෝසිස් දක්වාම දුර දිග යන්න පුළුවන්.

අක්මාවේ මේදය වැඩිවීම මුලු ශරීර සෞඛ්‍යයට ම දැල්වෙන රතු එළියක්. එවැනි අයට දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග ඇති වීමේ අවදාන ම ඉතා ඉහළයි. දැනටමත් දියවැඩියාවෙන් පෙළෙන කෙනකු සිටිනවා නම් එවැනි අයකුට අක්මාවේ මේද ඇත්නම් හදවත් රෝගයකට ගොදුරු වීමේ ඉඩ වැඩි වෙනවා. කල් ඇතිව අක්මාවේ මේද වැඩි බව දැන ගත් විට රෝගය දුර දිග යාම පාලනය කළ හැකියි.

අක්මාවේ මේද මුල් අවස්ථාවේදී අක්මා සෛලවල මේදය අධිකව දක්නට ලැබෙනවා. දෙවැනි අවස්ථාවේදී තත්ත්වය වඩාත් බරපතළ වීමේද සෛල ප්‍රදාහයට පත් වෙනවා. ප්‍රදාහයන් නිසා අක්මාවේ කැළැල් ඇති වෙනවා. අක්මාව ආසන්න රුධිර නාල ආශ්‍රිතව දී කැළැල් ඇති වෙනවා. තත්ත්වය වඩාත් බරපතළ වූ විට අක්මාව හැකිළී අකර්මණ්‍ය වෙනවා.

අක්මාවේ මේදවලට ප්‍රතිකාර නැහැ. ජීවන රටාව, ආහාර පාන පාලනයෙන් හා ඇතිවන රෝග ලකුණු ඖෂධ මඟින් පාලනය කිරීමෙන් වෛද්‍යවරුන් මීට පිළියම් කරනවා. උදරයේ දකුණේ ඉහළට වන්නට වේදනාවක් දැනීම, අධික විඩාව, හේතුවක් නැතිව බර අඩු වීම, දුබලබව අක්මාවේ මේද නිසා ඇතිවන්නක් විය හැකියි.

හෙපටයිටිස් අක්මාවට වින කරන තවත් රෝගයක්. මේ රෝග තත්ත්වයේදී අක්මාව ප්‍රදාහයට පත්වී ඉදිමෙනවා. ‍වයිරස ආසාදන, අධික මත් වතුර පානය මීට ප්‍රධාන වශයෙන් ම බලපාන හේතු.

රෝග තත්ත්වය වැළැක්වීමට හෙපටයිටිස් A හා හෙපටයිටිස් B එන්නත් ලබා ගැනීමෙන් පුළුවන්.

මාංස පේශි , සන්ධි වේදනාව, අධික උණ, අසනීප ගතියක් දැනීම, සැමවිට ම අධික වෙහෙසක් දැනීම, ආහාර අරුචිය, උදර වේදනාව, මුත්‍රා තද පැහැයට පිටවීම, අළු පැහැයට මල පිටවීම, සම කැසීම, සම-ඇස් කහ වීම හෙපටයිටිස් නිසා ඇතිවන ලකුණු වීමට පුළුවන්. දිගු කාලයක් රෝගය පැවතුණොත් අක්මාව අකර්මණ්‍ය වෙනවා.( ක්‍රියා විරහිත වෙනවා )

 

අක්මා රෝග හඳුනා ගැනීමට අසීරුයි

 

අවාසනාවකට අක්මාවට බොහෝ හානි වන තුරු අක්මාව රෝගී වී ඇති බව දැන ගැනීමට ලැබෙන්නේ නැහැ. සැම විට ම අධික වෙහෙසක්, දුබල බවක් දැනෙයි නම්, කෑම රුචියක් නැති නම්, සම සහ ඇසේ සුදු පැහැ කොටස කහ වන්නේ නම් අක්මා රෝගයකින් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. මීට අමතරව සම කැසීම වැනි ලකුණුත් ඇති වෙනවා.

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන

(Tharunie)