Saturday, May 04, 2024
Follow Us
Hair colour  Highlights  dye and  tint

?මේ මොන නමින් කිව්වත් එකම තේරුම වෙන කොණ්ඩය පාට කිරීම කවදාවත් නොකල අයට මහා භීතියක්, මෝඩ අයට සෙල්ලමක්, අවබෝධයක් ඇති අයට ලොකු සහනයක් සහ සතුටක්. අසාත්මිකතා දක්වන අයට ශෝකයක්.


?අපි කොණ්ඩ වර්ණ ගන්වන්නේ හේතු දෙකකට. එකක් අලංකාරය සඳහා අනික සුදු වූ හිස කෙස් වසාගැනීම සඳහා. හිසකෙස් වර්ණ ගැන්වීම සඳහා අපි ක්‍රම දෙකක් භාවිතා කරනවා. ස්වභාවික සහ රසායනික ද්‍රව්‍ය යොදා සකස් කරන ලද කෘතිම වර්ණකාරක ලෙස.
?ස්වාභාවික හෙනා සහ black henna වල වෙනස පිළිබඳව මම මේ මීට පෙර ලිපි වලින් සාකච්ඡා කරලා තිබෙනවා. Henna වලට indigo මිශ්‍ර කිරීමෙන් කළු පැහැයට කිට්ටු පාටකට හිසකෙස් වර්ණ ගන්වා ගන්න පුළුවන්. හැබැයි කෘතිම ඒවා වගේ නෙමෙයි මේවා සතියකට සැරයක්වත් කළ යුතුයි.
? ස්වාභාවික ක්‍රම අපි බොහෝ විට පාවිච්චි කරන්නේ රසායන ද්‍රව්‍ය යොදා සෑදූ වර්ණකාරක වලට අසාත්මිකතා දක්වන අයට සහ රසායන ද්‍රව්‍ය වලට අකමැති අයටයි. ඒවායේ ඇති අවාසිය නම් සෝදන වාරයක් පාසා ජලය සමඟ සේදී යාමයි. එවිට තෙත කොන්ඩය පිටින් ඔබට ලා පාට ඇඳුමක් පවා ඇඳීමට නොහැකියි. ස්වභාවික හෙනා වලින් වර්ණ ගැන්වීමේ දී ඔබට තද කළු පැහැයක් ලැබෙන්නේ ද නැහැ. සුදු කෙස් වර්ණ ගැන්වීමේදී ඒවා තද දුඹුරු පැහැයක් හෝ අළු පැහැය ගන්නා අතර සෑම සේදුම් වාරයකදීම ඉවත් වී යයි. එමෙන්ම එම ස්වභාවික වර්ණ පාවිච්චි කළ විට ඔබට rebounding හෝ perming කාලයක් යන තුරු කළ නොහැකි වේ. මෙය black henna වලට අදාල නැත.
?හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගැබිනි සමයේදී සහ දරුවා කිරි බොන අවධියේදී හිසකෙස් වර්ණ ගැන්වීම පිළිබඳව තිබෙන ගැටලුව. අපි දන්නවා ගැබිණි මවක්, කිරි දෙන මවක් කොහොමත් හුගක් දේවල් වලින් පරිස්සම් වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි තමන්ගෙ දරුවා. ඒ නිසා ඒ කාලයේ දී කෘතිම දේවල් භාවිතා කරලා කරන අලංකාර කටයුතු වලින් අම්මලා ඈත් වෙනවා. (Chemical and pregnancy ලිපිය කියවන්න.)
?මගේ අදහසත් වෛද්‍ය මතයත් මේකයි. ඔබ මෙතෙක් කල් ගර්භනී වීමට පෙර පුරුද්දක් හැටියට සුදු වූ හිසකෙස් වර්ණ ගැන්වීමේ යෙදී සිටියා නම් ගර්භනී වූ පසුව ඔබට එය කළ හැකියි. හැබැයි පුරුද්දක් හැටියට ඔබ එය කරලා නැත්නම් කරන්න එපා. ජීවිතයට ම නොකාපු කෑමක් කන්නත් එපා. හැබැයි ඔබ මෙතෙක් කල් කාපු කෑම ඔබට බය නැතුව කන්න පුළුවන්. ඔබ දන්නවා ඔබට අසාත්මික දේවල්. සුදු කෙස් තියන කෙනෙක් පුරුද්දක් හැටියට කොණ්ඩය කලු කරනවා නම් ගර්භිණී වූවා යැයි එය නැවැත්විය යුතු නැහැ.
?හැබැයි අලංකරණය සඳහා fashion colours භාවිතයෙන් වැළකී සිටීම වඩා හොඳයි. මොකද ඒක අත්‍යාවශ්‍ය කාරණාවක් නෙමේනේ... ඒ අවධියේදී නිවසේදී තනිවම කරගන්නේ නැතුව පළපුරුදු කෙනෙක් ලවා සමේ නොගෑවී එය කරන්නට වග බලාගත් විට ඔබේ හිතට සහනයක් දැනේවි. මම මේ කියන්නේ හරි දේ. ඔබට පාට නොගා ඉන්න පුලුවන් නම් වඩා හොඳයි. නමුත් ඉතා තරුණ කාන්තාවන් ඉන්නවා මුළු කොණ්ඩෙම සුදු උන. එයාලා රැකියා කරද්දි හරිම අපහසුතාවක් අත් විඳිනවා ගැබිනි සමයේ කොණ්ඩෙ කලු නොකර. නමුත් මා දන්නා අයට ඔවුන්ගේ වෛද්‍යවරු උපදෙස් දී තිබුණේ ඔබ මෙතෙක් කල් කරගෙන ආවා නම් එය කලාට කමක් නැති බවයි. එමෙන්ම උපදෙස් දී තිබුණා ගෙදර තනිවම සිටින විට කරගන්නේ නැතුව තව කාගේ හරි සහය ලබාගන්නා ලෙස . හැබැයි තවත් හොඳයි ඉන්ඩිගෝ හෙනා මිශ්‍ර ස්වාභාවික වර්ණ පාවිච්චි කල හැකි නම්. ඒවා පාවිච්චි කලහම rebounding perming කරන්න කාලයක් යනකල් බැරි වෙන එකයි ප්‍රශ්නය. මම මේ කලේ විද්‍යාත්මක හේතු දැක්වීමක් සහ මම විශ්වාස කරන දෙය. ඒ නිසා මෙතැනදී දරු සෙනෙහස වෙනුවෙන් මොනවද කැප කරන්න බැරි වගේ කමෙන්ට්ස් නම් කරන්න එපා. මම එහෙම අයව බ්ලොක් කරනවා.
?කිරි දෙන අම්මලාටත් මේ විදිහම තමයි. මීට කලින් ඔයාලා කොණ්ඩය වර්ණ ගන්වලා තිබෙනවා නම් කළාට කමක් නැහැ. එහෙම කරලා නැත්නම් දරුවා අතිරේක ආහාර ගන්නා තෙක් එය ප්‍රමාද කර අසාත්මිකතා පරීක්ෂණයකින් පසුව ඔබට කොණ්ඩය පාට කරන්න පුළුවන්. මොකද දරුවා ඔයාගේ කිරි විතරක් බොන කාලෙදී ඔයාට මොනවා හරි වෙලා බෙහෙත් බොන්න වුනොත් , රෝහල් ගත වෙන්න වුණොත් දරුවාට මව්කිරි දීමේ හැකියාවක් නැතිව යනවා.
?ඊලගට ඔයාලා අහල තිබුනා සුදු කෙස් කළු පාට කලහම අනිත් කෙස් සුදු වෙනවා ද..... කොන්ඩෙ ගැලවී යනවාද කියන ප්‍රශ්න. ඒ දෙකට ම මට දෙන්න පුළුවන් උත්තරය තමයි *නැහැ * කියන එක. කිව්වට බැහැනේ නේද ඉතින් ඇයි කියලා කියන්නත් ඕන නේ.....
?කොන්ඩේ සුදු වෙන්න ගත්තම කොහොමත් සුදු වෙනවා දිගටම. අපි හිතමු ඒ සුදු වෙන කොටම ඔයා කොණ්ඩය පාට කරන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒ සුදු කෙස් තියෙන්නේ forehead hairline එකේ නම් අනිවාර්යෙන්ම ඔබ අවම වශයෙන් සති තුනකට සැරයක්වත් පාට ගාන්න ඕනේ. මොකද මාසෙකට සෙන්ටිමීටරයක් අලුතෙන් වැවෙන කොන්ඩෙත් වැවෙන්න සුදු පාටින්. එතකොට සතියකට 1/4 cm සතිදෙකකට 1/2cm. ඉතින් මේ කළු කිරිල්ල නිසා අලුතෙන් සුදුවෙන කෙස් ගස් ටිකත් ඔයාට සුදුවෙනවා කියලා පේන්නෙ නැහැ. හැබැයි මාස හතර පහකින් ඔයාට එක මාසෙයකදී පාට ගාගන්න බැරි උනහම ඔන්න ඔයාට අර අලුතෙන් සුදු වෙච්ච කෙස් ටික පේන්න ගන්නවා. එතකොට ඔයා හිතනවා කළු කරපු නිසා තමයි සුදු උනේ කියලා. නමුත් ඔයා කළු කළත් නැතත් ඒ කෙස් ටික සුදු වෙනවාමයි. ඒ වගේම කළු කෙස් ගහක් හැටියට එළියට ආපු කෙස් ගහේ එළියට ආපු ටික ආයේ සුදු වෙන්නේත් නැහැ.
?තරුණ කාලේ කොන්ඩේ සුදු උනහම කට්ටිය පාට කරගන්නෙ නැහැ බයයි. ඇහුවාම කියනව "තව ටිකක් වයසට යනකම් ඉන්නවා" කියලා. එතකොට මට තියෙන ප්‍රශ්නය තමයි එයාලා තරුණ කාලයේ වයසක පාටට ඉඳලා වයසට ගිය කාලෙදි තරුණ වෙන්න හදන්නෙ ඇයි කියලා. ඒක මට නම් මහ විහිළුවක්.
? අනිත් කාරණාව ඩයි කරන්න ගත්තම කොන්ඩෙ යනවා කියන එක. ඇත්තටම කොන්ඩෙට කෘතිම වර්ණකාරකයක් පාවිච්චි කරනවා නම් conditioner කිරීම අනිවාර්යයි. එහෙම නොකලොත් කොණ්ඩෙ ගැලවිලා යනවා නෙමෙයි කැඩි කැඩී නම් යනවා අනිවාර්යෙන්ම. කොණ්ඩය කැඩි කැඩී යාමයි ගැලවිලා යාමයි දෙකක්. ගැලවිලා යන්න කොණ්ඩය වර්ණ ගැන්වීම හේතුවක් නොවෙයි. පුළුවන් තරම් හිසේ සමේ නොගෑවී කිරීමට වගබලා ගන්න.
?හිස කෙස් පාට කරන ඔබ හිසට තෙල් සාත්තු කරනවා නම් කොණ්ඩය පාට කිරීමට කලින් තෙල් සාත්තු කරන්නත් එපා. පාට කළාට පස්සේ සේදුම් වාර තුනක් වත් යනකන් තෙල් සාත්තු කරන්න එපා. එසේ කළොත් තෙල් සමගම අර රසායන ද්‍රව්‍යත් ඔබේ හිසේ සමට උරා ගෙන ඔබට අනවශ්‍ය ප්‍රශ්න මතු කරාවි.
?මෙය බොහෝ පිරිමි කොණ්ඩා කපන සැලෝන් වලින් කෙරෙන විශාල වැරැද්දක්. ඉතාමත් අඩු මුදලකට කොණ්ඩය පාට කරලා.....කොණ්ඩය කපාගෙන... හොඳ සැප මසාජ් එකකුත් සැලොන් එකෙන් අරගෙන ගෙදර එන ඔබේ සැමියා හිසරදයක් ගැන පැමිණිලි කලා නම් හේතුව මෙයයි.
?ඊලඟට මම අනුමත නොකරනම දෙයක් තමයි නිවසේදී රසායන ද්‍රව්‍ය භාවිතය. මෙතෙක් කල් පැහැපත්ව සිටි ඔබගේ බෙල්ල, ඇස් යට, නළල දෙපස, කන සහ කම්මුල් හදිසියේ අවපැහැ වෙන්නට පටන් ගෙන තිබේ නම් සහ ඒ හා සමගම ඔබ නිවසේදී කොණ්ඩය කළු කරගෙන තනිවම සෝදා ගන්නවා නම්, එම අවපැහැ ගැන්වීමට හේතුව එම කලු වර්ණකය සමේ තැන්පත් වීම විය හැකියි. මෙම රසායන ද්‍රව්‍ය නිපදවන්නේ වෘත්තීය මට්ටමින් පාවිච්චි කිරීමටයි. මා දන්නා තරමට ඔබට අවශ්‍ය වර්ණ රැගෙන ගිය විට එය ඔබගේ කොණ්ඩෙට ආලේප කර එය සෝදා වියළා දීමට සැලොන් වලින් ලොකු මුදලක් අය කරන්නේ නැහැ. ඒ නිසා වඩා සුදුසු ඩයි වර්ග පාවිච්චියේදී පළපුරුදු දෑතක සහය ලබා ගැනීමයි.
? කොන්ඩය පාට කරන විට එම ආලේපනය සම මත තැවරෙනවා නම් ඔබ පළමු වරට එය කරන විට අසාත්මිකතා පරීක්ෂණයක් සිදුකර ගැනීම නුවණට හුරුයි. කොන්ඩයේ පාට ගැල්වීම සහ ආසාත්මිකතා පරීක්ෂණ සිදු කරන විදිහ රූපලාවන්‍ය ශිල්පීන්ට අයිති කාරණයක්. ඒ නිසා මම ඒ දේවල් පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්නේ නැහැ වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගත යුතු නිසා .
? සැලොන් එකකදී කොණ්ඩය පාට කරන විට ඔබ කන් ආවරණයක් පැලදීමට වග බලා ගන්න. එය ඔවුන් දමන්නේ නැති නම් ඉල්ලා සිටීමේ අයිතිය ඔබ සතුයි. සාමාන්‍යයෙන් වර්ණාලේපයක් කෙස් මත රඳා තබා ගැනීමේ කාලය මිනිත්තු තිහයි. ඒක ගාන්න ගත වෙන වෙලාවත් එක්ක උපරිම මිනිත්තු 45 යි. රසායන ද්‍රව්‍යයක් හිසේ තබා ගෙන ඔබ නිදාගන්න එපා.
? කොන්ඩේ කළු කළහම මුහුණ සෝදන නිසා ඉස්සරහ ටික ඉක්මනට හේදිලා ගිහිල්ලා සතියක් යන්න කලින් සුදු කෙස් පේනවා කියන මෝඩ කතාව යළි ඔබ කියන්න එපා. මම දන්න අය ඉන්නවා හරියට මූණ සෝදන්නෙ නැහැ, නාන්නේ නැහැ මේ පාට යයි කියල බයේ. අවබෝධයෙන් ඉන්න සතියකට 1/4cm කොණ්ඩය වැවෙන බව.
?කලු හෝ කළු පැහැයට හුරු දුඹුරු පාට කොන්ඩෙට ගෑවම කාලයක් රඳා පැවතුණත්, හිසකෙස් අලංකාරය සඳහා භාවිතා කරන Mahogany ,red,violet වැනි වර්ණ රදා පවතින්නේ කෙටි කාලයක් පමණයි. ඔබ වැඩිය නාන කෙනෙක් නෙමේ නම් දීර්ඝ කාලීනව රඳා පවතීවි. මාසයක් පමණ යන විට ඒවා පාට අඩුවීගෙන ගොස් දුඹුරු පැහැයක් ගන්නවා.
? ඔබගේ කළු පැහැති හිසකෙස් මතට ඊට වඩා ලා වර්ණයක් ඔබට දැමීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කෙස් ගසේ තිබෙන කළු පැහැය ඉවත් කළ යුතුමයි (bleach ) නැත්නම් ඔබ බලාපොරොත්තු වූ පාට ඔබට ලැබෙන්නේ නැහැ.
?කොණ්ඩය damage වන ප්‍රමාණය කෘතිම කෙඳි සහිත පනා වලින් පීරිමෙන් 2%, shampoo භාවිතයෙන් 5%, කෘතිම වර්ණක වලින් 10%, straightening cream වලින් 20% ක් සහ bleaching කිරීමෙන් 50% පමණ වෙනවා.

(Beauty Secrets with Rapunzel)