Thursday, April 25, 2024
Follow Us
Do nails  speak?

නියපොතු ගැන අපේ සමූහයේ මේ වනවිට ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් නියපොතු ගැන මගේ දැනුමේ හැටියට අවසාන ලිපිය ලියන්නයි ලෑස්තිය. මින් එහා නියපොතු ගැන දැනුමක් ඔයාලට දෙන්න මගෙ වපසරිය මදි. නමුත් ලොකු සතුටක් දැනෙනවා අපි පළ කළ පහුගිය ලිපි වලින් ඔයාලගෙ නියපොතුවල තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුව සහ විසඳුම් ඔයාලට දැනගන්න පුළුවන් උන බව දැනගත්තම.


ඉතින් මම අද කතා කරන්න හිතුවා නියපොත්තේ පෙනුමෙන් කියන්න පුළුවන් ශරීරයේ තියෙන රෝගාබාධ කීපයක් ගැන.
1. මීට කලින් ලිපියේ මම සඳහන් කළා සාමාන්‍යයෙන් නියපොත්තක් තිබිය යුත්තේ හැන්දක් මුණින් අතට නැමූවා වැනි හැඩයකට කියලා. නමුත් ඊට විරුද්ධව හැන්දක් උඩු පැත්ත හැරෙව්වා වගේ නියපොත්ත මැදින් වල ගැසී ඇත්නම්, (spoon nails ) එයින් පෙන්නන්නෙ ශරීරයේ යකඩ අඩු වීමක්.
2. ඒ වගේම නියපොතු අගින් ඉස්සී තිබේ නම් පෙනහළු ආබාධ, හෘදය අකර්මණ්‍යතා හෝ හෘද සිදුරු වැනි රෝග ලක්ෂණයක් විය හැකියි.
3. කොහෙවත් වදින්නෙ නැතිව තැලෙන්නේ නැතිව නියපොත්ත ඇතුලේ ඉතා කුඩා ලේ පැල්ලම් ලෙස පේනවා නම්, ලේ බැහැලා වගේ පේනවා නම් එය අධි රුධිර පීඩන අවස්ථාවක් , හෘදයේ අභ්‍යන්තර බිත්තියේ ආබාධයක් හෝ දියවැඩියාව වැනි රෝග පිළිබඳ ඉඟියක් ලෙස සැලකිය හැකියි.
4. නියපොත්තේ එක් පැත්තක් සුදු පාට සහ අනික් පැත්ත කළු පැහැයෙන් පෙනෙන්නේ වකුගඩු අක්‍රිය වූ අවස්ථාවලදීය.
5. නියපොත්තේ සිරස් (vertical ) අතට විහිදෙන ඉරි වයසට යාම මෙන්ම lichen Planus යන රෝගය නිසා ද සිදුවෙයි. ඊට අමතරව රත්තය වැනි ශරීරයේ වෙනත් තැනක රෝගයක් නිසාද මෙසේ ඉරි ඇතිවිය හැකියි. කෙසේ වුවත් යම් විදිහකින් තිරස් (horizontal ) අතට යොමු වූ ඉරි ඔබේ නියපොත්තේ තිබෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතු වන්නේ එය බරපතල තත්ත්වයක ලක්ෂණයක් විය හැකි නිසයි.
6. නියපොත්තේ දිදාලයක මෙන් හිල් හැදෙන්නේ සොරයිසිස් එසේත් නැත්නම් පොතු කබර රෝගය, රත්තය වැනි රෝග නිසා වෙන්න පුළුවන්. Psoriasis ලිපිය කියවන්න.
7. නියපොතු වල තිබෙන දිලීර රෝග නිසා විශේෂයෙන්ම දියවැඩියා රෝගය හඳුනාගත හැකියි. කැන්ඩිඩා රෝගයේ දී රුධිරයේ සීනි මට්ටම මනිනු ලබන අතර එමගින් බොහෝ විට දියවැඩියා තත්ත්වය හඳුනා ගත හැක. දියවඩියාව හේතුවෙන් දිලීර ආසාදනයන් බහුලව ඇති වේ.
8. නියපොතු ඇදවීම වයසට යාමේදී මෙන්ම ආතරයිටිස් රෝගය නිසාද, කකුලේ නම් තමන් පාවිච්චි කරනු ලබන සපත්තු නිසාද සිදුවිය හැක. මේ පිළිබඳව අපි වෙනමම ලිපියක් ලියා තිබෙනවා bunions ලිපිය කියවන්න.
9. මීට අමතරව ආසනික් වර්ග, විෂ ධුලක වර්ග නිසාත් නියපොත්තට හානි වී සිරස් ඉරි ඇති වීම සහ නියපොත්ත පොල් අත්තක් මෙන් පැලීම සිදුවිය හැක.
10. නිරන්තරයෙන් ජලය පාවිච්චි කරන ගෘහණියන්ගේ නියපොතු දෙපැත්තේ කෙළවරින් ඉතා ඉක්මනින් කැඩීයාමට ලක්වෙයි.
11. කුඩා දරුවන්ගේ නියපොතු කහ පැහැ විය හැකි අතර මෙය සාමාන්‍ය නමුත් කැරට් වැඩිපුර ආහාරයට ගැනීමෙන් කැරොටින් වැඩි වූ විට ද මෙම තත්ත්වය ඇතිවිය හැක.
12. චිකන් ගුන්‍යා, ඩෙංගු වැනි virus රෝගයක් වැළඳීමෙන් පසුව ඇතමුන්ගේ නියපොතු හැලීමට වූවද ලක්විය හැක.
13. ඔබගේ නියපොත්ත ආරම්භයේ නියපොත්තට යටින් කළු පැහැති ඉරක් තිබේ නම් සැලකිලිමත් විය යුතුය. මෙය ඉතා කලාතුරකින් ආසියාතිකයන් අතර ඇතිවන මෙලනෝමා යන පිළිකා තත්ත්වය විය හැක. විශේෂයෙන් තුවාල වීමක් නොවී දීර්ඝකාලීනව නිය යට කළු පැහැ පැල්ලම් වේ නම්, ඊට අමතරව නියමල සමඟ කළුවෙනවා නම් නියපොත්තේ මැද තිතක් ලෙස පවතිනවා නම් එය අමතක වූ තුවාලයක්ද විය හැකි වුණත් මෙම තත්ත්වයේදී හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම සුදුසු වේ.
නියපොතුවල ඇතිවන සංකූලතා වලදී ඖෂධ වර්ග මෙන්ම විටමින් වර්ගද රෝග තත්ත්වය අනුව නිර්දේශ කරනු ලබයි. කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් ඇතිවීමට පෙර වළක්වා ගැනීමට කළ යුතු දේවල් අපි මීට කලින් ලිපිවල පැහැදිලි කළා වගේම,
* සමබල ආහාර වේලක් ගැනීම,
* වැඩිපුර නියපොතු පිරිසිදු නොකිරීම,
* ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිත නොකිරීම,
* දෙකකුල් වැඩි වේලාවක් ජලයේ බහා නොතැබීම,
* හොඳ සෞඛ්‍ය පුරුදු පුහුනුවීම,
* නියපොතු කැපීමේදී රවුම් නොකොට හතරැස් ආකාරයට කැපීම, මෙහිදී කකුලේ මාපට ඇඟිල්ලේ නියපොත්ත කොටු ආකාරයට කැපීම ඉතා වැදගත් වේ.
(වෛද්‍ය විද්‍යාත්මක කරුණු විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර මහතාගේ ලිපියක් ඇසුරෙනි.)

(Beauty Secrets with Rapunzel)