Thursday, March 28, 2024
Follow Us
Foot  Care

මේක කාලයක් තිස්සේ ඔයාලා මගෙන් ඉල්ලපු මාතෘකාවක්. මේකප් ගැන කියන්න කියන ඉල්ලීමට විතරයි මේක දෙවැනි වුණේ . ඉතින් අපි අද කතා කරමු ඔයාලගේ කකුල් ගැන. හොදින් මතක තියා ගන්න පිරිමි කෙනෙක් අදාල ගෑනු කෙනාගේ පිරිසුදුකම බාහිරින් මනින ප්‍රධාන තැනක් කකුල් දෙක. මොකද අනිත් තැන් පේන්නේ නැහැ නේ ???. කකුල් දෙක අපිරිසිදුව තියෙන ලස්සන ගෑනු කෙනෙක් දැක්කම එයාලා කියනවා මුහුණ ලස්සන වුණාට වැඩක් නෑ බලපං කකුල් දෙකේ කැත කියලා. ඒ විදිහටම අපි පිරිමි අය ගැනත් කියනවා. Clean suits දැම්මට වැඩක් නෑ මේස් ගලවද්දි ගඳ නම්.... කකුල් හත් අවුරුද්දකින් හෝදලා නැති පාට නම් ....


ලිංගික ආකර්ෂණයේදී පවා වැදගත් ස්ථානයක් පිරිසිදු කකුල් දෙකකට ලැබෙනවා. අපිරිසිදු කකුල් නිසාම බොහෝ විට අනිත් පාර්ශවයෙන් ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩ වැඩියි. නමුත් හේතුව ඒකයි කියල ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ. ඒ නිසා ඩේට් එකක් යන්න ඉන්නවනම් එදාට අඳින ඇඳුම සහ මේකප් ගැන හිතන්න කලින් කකුල් සුදු පිපිලා ද, යටි පතුල පැලිලා ද , නියපොතු වල කුණු ද, වගේ කාරණා ගැන අවධානය යොමු කරන්න. ඔයාගේ මුහුණට වගේ දෙගුණයක් අවධානය කකුල් දෙකට යොමු කරන්න. මොකද ඔයාගෙ මූණ කකුල් තරම් පොළොවේ ඇතිල්ලෙන්නේ නැහැ. ඔයාලා කොච්චර මූණට දිනපතා සත්කාර කරනවද , ඒ විදිහටම ඇයි කකුල් දෙකටත් daily routine එකක් තියාගන්න බැරි? මාසිකව facial කරන ඔයා ඒ එක්කම pedicure එකටත් වෙලාව වෙන් කරගන්න.
සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 8000 සිට 10,000 දක්වා ප්‍රමාණයක් පියවර තබනවා. ජීවිත කාලයම දල වශයෙන් ගත්තොත් සැතපුම් 115,000 ක් පමණ ඇවිදිනවා. ඉතින් හරිහැටි නඩත්තු නොකලොත් කාලයක් ගත වෙනවිට නොයෙකුත් සංකූලතා ඔයාගෙ කකුල් වල ඇති වෙන්න පුළුවන්.
ඇයි අපි කකුල් සුද්ද කර ගන්න ඕනෙ කියන එක ඔයාලට අමුතුවෙන් පහදන්න දෙයක් නෑ. නමුත් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මග ඇරිලා තියෙන එහෙම නැත්නම් අමතක වෙලා තියෙන කකුල් පිරිසිදු කිරීමේ වාසි සහ ගැටළුවලට විසඳුම් මතක් කරලා දෙන්නයි. කකුල් දෙක බේසමක ඔබාගෙන ඉඳලා scrub කරල යටි පතුල scrapper එකකින් අතුල්ලන එක නෙවෙයි පාද සත්කාර කියන්නෙ, එහෙමත් නැත්නම් pedicure කියන්නෙ. ඒක ඊට වඩා එහා ගිය සත්කාරයක්. තනියම කරගන්න බැරි නැහැ. නමුත් එතනදී ඔයාට මානසික සුවය සහ උත්තේජනය කියන කාරණා දෙක මගහැරෙනවා. ඒ වගේම යටිපතුල්වල මැරුණු සම අපි අයින් කරන තරම් ප්‍රමාණයක් ඔයාලට අයින් කරන්න බැහැ. ඒ නිසා පෙඩිකියු එකක් මාසෙකට සැරයක් සැලුන් එකකින් කරගන්න අතරතුරදී දිනපතා පිරිසිදු කිරීමක් ගෙදරදි අවශ්‍යතාවය අනුව කරන්න වග බලාගන්න.
අනිත් ප්‍රධානම දේ තමයි නියපොතු ඇතුලෙ තැන්පත්වෙලා තියෙන කුණු දුහුවිලි ඉවත් කිරීම. මේ සඳහා විශේෂයෙන් සැකසූ orange stick cosmetic shops වල තියෙනවා. ඒවා පාවිච්චි කරලා පරිස්සමෙන් කුණු ඉවත් කරගන්න ඕනේ. නියපොතු අස්සෙ තැන්පත් වෙන කුණු, වතුරත් එක්ක එකතුවෙන නිසා පල් ගඳක් එන එක සාමාන්‍යයි. මේක සාමාන්‍යයෙන් සති දෙකකට වතාවක් කලාම ඇති. ලා පැහැති nail colour එකක් ගාන්න එතකොට සති දෙකකට පස්සේ පිරිසුදු කරනකල් අර කුණු එකතු වෙන එක එලියට පෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කකුල මෙච්චර බිම ගෑවෙද්දි කුණු නියපොතු අස්සෙ යන්නේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අනිවාර්යයෙන් ඉවත් කල යුතුයි.
ඒ වගේම නියපොතු ආශ්‍රිතව සහ කකුලේ ඇති මැරුණු සම ඉවත් කිරීම හරිම වැදගත්. මේක නොකලහම තමයි ඔයාගේ කකුල් ගොරෝසු වෙලා ඉරි තැලිලා පැලිල අවලස්සන වෙන්නේ. මේකට අනිවාර්යෙන්ම ඔයා කකුල් සදහා විශේෂයෙන් සකස් කරන ලද scrub පාවිච්චි කරන්න. නාලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට කකුල් හොඳට පොගනවා. අන්න එතකොට Foot file එකකට scrub දාලා හොඳින් යටිපතුල අතුල්ලන්න. එහෙම කරලා රෑට හොඳ foot cream එකක් පාවිච්චි කලහම කකුල් පැලෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. කකුල්වල ගැටළුවක් තියෙනවා නම් මේවා දිනපතා කිරීම අනිවාර්ය වෙනවා. ගැටලු නැත්නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ
මෙහෙම පරිස්සම් කරන ඔයාගේ කකුල් ප්‍රසන්න නැවුම් පෙනුමකින් යුක්ත වෙනවා. ඒ වගේම නිතිපතා පිරිසුදු කරන කකුල් වලින් අප්‍රසන්න දුගඳක් කවදාවත් එන එකක් නැහැ. අසාමාන්‍ය වැඩ කොටසක් කරන ඔයාගේ කකුල්වලට සාමාන්‍ය පිරිසිදු කිරීමක් ප්‍රමාණවත් නැහැනේ. ඒ නිසා තමයි මාසෙකට වතාවක්වත් විශේෂ පිරිසුදු කිරීමක් කකුල්වලට අවශ්‍ය.
එහෙම ක්‍රමානුකූලව පිරිසිදු කරන කකුල්වල, නියපොතුවල, දිලීර සහ බැක්ටීරියා ආසාදන එන්නෙ නැති නිසා ඇඟිලිවලවල ආරක්ෂාවට තියෙන නියපොතු අංගවිකල නොවී නියම හැඩය සහිතව අලංකාර පෙනුම රැකගෙන තියා ගන්න පුළුවන් වෙනවා. මුල්වරට කකුල් සඳහා සත්කාර වලට පැමිණෙන අයගෙන් දහයෙන් පහකටවත් නිය පොතු වල දිලීර ආසාදන තියෙන බවයි මගේ අත්දැකීම.
එවිට එයාලා කරන්නෙ නියපොත්ත කප කපා අඩු කර ගන්න එකයි. ඒක දිලීර ආසාදන වලට විසඳුමක් නෙවෙයි. ඒ නිසා පාද සත්කාර කිරීම එවැනි රෝග හඳුනා ගැනීමටත් උදව්වක් වෙනවා. ඒ වගේම ඒ වගේ ආසාදනයක් ඔයාගේ නියපොතු වලට ඇවිත් තියෙනවා නම් dermatologist කෙනෙකුට පෙන්නල දීර්ඝකාලීනව ප්‍රතිකාර කරන්න වෙනවා හොඳ වෙනකල්ම.
මට එහෙම ආසාදනයක් ඇති වෙලා එක දිගට anti fungus ලෝෂන් එකක් නියපොතු උඩට සහ ඇතුලට මාස තුන හතරක් දැම්මා . එහෙම දිලීර ආසාදන හැදුනම හොඳ වෙනකල්ම ප්‍රතිකාර කරන්න ඕන. කකුල නිතරම තෙත නැතුව තියාගන්න ඕන. නියපොත්ත සහ ඇඟිල්ල අතර සම්බන්ධය නැතිවෙලා හිස් තැනක් එනව දිලීර ආසාදන හැදුනම. හුඟක් අය කරන්නේ මේ කොටස කපලා අයින් කරන එකයි. අන්න එතකොට තමයි නියපොත්ත විකෘති වෙලා ඇඟිල්ලේ හැඩය වෙනස් වෙන්නේ. ඒ නිසා එහෙම උනහම වෙනදා වගේම නියපොත්ත කපන්න. වෙනස් කරන්න එපා.
කකුල් වල වියලි පෙනුමක් තිබීම ගැන ගොඩක් අහලා තිබුනා. මේ ගැන අපි දීර්ඝ ලෙස කතා කරලා තියෙනවා ලිපි දෙකකින්. අපි සම වියළි ගතියක් පෙන්වන්නේ මොනව හරි හේතුවක් නිසයි. බොහෝ විට එය අසනීප තත්ත්වයක ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා වියළි ගතිය ගැන ප්‍රශ්න අහපු අය ඒ ලිපි දෙක බලලා ඒ අනුව ප්‍රතිකාර කරන්න.
ඔයාලට තිබුණ තව ප්‍රශ්නයක් තමයි නොයෙකුත් පාවහන් විලාසිතා නිසා කකුලේ තැන තැන කලු වීම. ඇත්තටම මේක සිද්ධවෙන්නේ බාල වර්ගයේ පාවහන් පාවිච්චි කලහමයි. ඒක තමයි මගේ අත්දැකීම. ඉස්සර මමත් ඇහැට බලල මිලෙන් අඩු ඒවා පාවිච්චි කලා. නමුත් මිලෙන් වැඩි හොඳ පාවහන් යුගලක් පාවිච්චි කළහම තමයි වෙනස තේරෙන්නේ. බාල වර්ගයේ ඒවා හරිම හයියයි. නමුත් හොඳ තත්ත්වයෙන් උසස් ඒවා එහෙම හයිය නැහැ. මම මේ කියන්නේ පටි තියන හරිය. අනිත් ඒවා තරම් කකුල් කැපෙන්නෙත් නැහැ. කල් පැවැත්මත් හොදයි. එහෙම ටිකක් මිලෙන් වැඩි පාවහන් කකුලට සනීපයක් ගෙන එනවා. ඔයාලටත් පුලුවන් වෙනස අත්හදා බලන්න. මිලෙන් වැඩි නිසා කුට්ටම් කීපයක් ගන්න බෑනේ. එහෙම ගන්නකොට හැම පාටකටම අඳින්න පුළුවන් ඒවා තෝරා ගන්න. කැඩුන ලෙලි ගිය පාවහන් නම් පාවිච්චි කරන්නම එපා. Coat shoes වලට ballerina socks හොඳ විසඳුමක්.
හුගක් දෙනාට තිබුණා කකුල් අව පැහැ වෙලා පාට කීපයක් තියෙනවා කියන ප්‍රශ්නය. අනේ ඉතිං ඒක කාගෙත් එහෙමයි. හොද සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. Moisturizer එකක් පාවිච්චි කරන්න. පැහැපත් වීම සඳහා අපි පලකරලා තියෙන ලිපි ටික කියවලා ඒවා අනුගමනය කරන්න. මේ ප්‍රශ්නේ ගැන කියද්දී ඔයාලා සඳහන් කරලා තිබුණ මොනවා කළත් ඒක හරියන්නේ නෑ කියලා. ඔය මොන මොනවා කළත් ඔය ළමයි සන් ක්‍රීම් එකක් නම් කකුල් වලට ගලා නෑ එහෙම නේ ද ?
නහර පේන එක ගැනත් ගොඩාක් දෙනා කියල තිබුණා. ඒකට දැන් නවීන ප්‍රතිකාර තියෙනවා වෛද්‍ය වරුන්ට කරන්න පුලුවන් දේවල්. ලේසර් ප්‍රතිකාරයකින් ඒව පේන එක නැති කරන්න පුලුවන්. කරපු අයට සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ඒකට ඉන් එහා විසදුමක් නෑ. හැකියාවක් තියෙනවා නම් හොද සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ඒක කරගන්න. ඒක පුංචි cosmetic සර්ජරි එකක්.
නියපොතු කැඩෙන ප්‍රශ්නයත් තව ප්‍රශ්නයක්. අනේ ඉතින් මේවා මැරුණු keratin සෛල. කැඩෙන එක සාමාන්‍යයි. කකුලෙ නියපොතු ඇඟිල්ලේ මට්ටමෙන් එහාට වවන එක මම අනුමත කරන්නේ නැහැ. එහෙම වුණාම අනතුරු වැඩි වෙලා නියපොත්තට හානි වෙන්න පුළුවන්. සමහර හානි ජීවිත කාලයටම බලපානවා.
Nail colours තද පාට පාවිච්චි කරද්දි නියපොතු අවපැහැ වීම වලක්වන්න බැහැ. අවපැහැ වීම යවන්න ඕනනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ටිකක් පුළුන් වලට අරගෙන තදින් නියපොත්ත අතුල්ලන්න. සමහර අයගේ ජානවලින් එන ප්‍රශ්න නිසා නියපොතු අවපැහැ වෙනවා. සමහර අසනීප වලටත් නියපොතු අවපැහැ වෙනවා. හැඩය වෙනස් වෙනවා. ඒ ගැන අපි වෙනම ලිපි වලින් කතා කරලා තියෙනවා. ඉතින් නියපොතු වල හදිසි වෙනස් වීමක් කියන්නේ ඔයාගේ ඇඟේ කොහේ හරි තියෙන අසනීපයක් වෙන්න පුළුවන් නිසා එහෙම වෙනසක් දැකපු හැටියම dermatologist කෙනෙකුට පෙන්නලා උපදෙස් ගන්න එක හොඳයි.
ගෙදරදී දිනපතා ඔය විදිහට පරිස්සම් කරලා මාසෙකට සැරයක් salon එහෙකින් හොඳ වෘත්තීය මට්ටමේ පාද සත්කාරයක් ලබාගන්න එක සුදුසුයි. Salon එකකදී කරන පාද සත්කාරයකදී සම්බාහනය කිරීම නිසා කකුලේ මාංශ පේශි ලිහිල් වෙනවා. ලේ ගමනාගමනය වැඩි වෙනවා. නිල උත්තේජනය වෙනවා. ලොකු මානසික සැහැල්ලුවක් ලැබෙනවා. කකුල ආශ්‍රිතව ඇති වේදනා සමනය වෙනවා. ඒ සඳහා පාවිච්චි කරන ක්‍රීම් සහ තෙල් වර්ග නිසා කකුල ආශ්‍රිත සමේ වියළි ගතිය නැති කරවනවා.
නියපොත්ත හැදෙන්න පටන් ගන්න තැන සමේ තෙතමනය තිබීම හොඳ නියපොත්තක් වැඩීමට උපකාරී වෙනවා. තෙතමනය කිව්වෙ වතුර නම් නෙමෙයි හොදේ?. ඒ වගේම දිනපතා රාත්‍රියේදී යටි පතුල්වල තෙතමනය රඳවන ආලේපනයක් ආලේප කිරීමෙන් යටි පතුල් පැලීම සම්පූර්ණයෙන්ම නවතා ගත හැකියි.
මගේ ලිපි බොහෝ විට සැකසෙන්නේ මගේ අත්දැකීම් වලින්. මගේ කකුල් ලස්සන නැහැ. ඒවා ඉතින් උපන් කැත ? ඒ උනාට මට සහතිකයි අප්‍රසන්න ගඳක්, පෙනුමක් හෝ දිලීර රෝග මගේ කකුල් වල නැති බව. කොහේ හරි යන්න තියෙනවා නම් මම ඉස්සෙල්ලම බලන්නේ මගේ කකුල් දෙක දිහා. ගමන යාමට සුදුසු තත්ත්වයෙන් ඒවා තියෙනවද බලනවමයි. නැත්නම් අනිත් අය මගේ කකුල් දිහා බලද්දි ලොකු අපහසුතාවයක් මට දැනෙනවා.
මම අහපු ප්‍රශ්නෙට ඔයාල දීපු උත්තර බලලයි මේ ලිපිය මෙහෙම සකස් කලේ . හැම කමෙන්ට් එකක්ම කියවල එකිනෙක ඒවායේ තිබුණු ගැටළු මම ලියාගෙන ඒවට වෙන වෙනම විසඳුම් මේ ලිපියෙන් මම දීලා තියෙනවා. නිවැරදිව පෙඩිකියු එකක් කරගන්න කරගන්න ආකාරය ගැන අපි වෙනම පොස්ට් එකක් දාලා තියෙනවා.
ඔයාල හොදින් මතක තියාගන්න මේ ලිපිය ලිව්ව මගෙත් කකුල් ලස්සන නැති බව. මගෙ කකුල් වලට වඩා ලස්සන කකුල් inbox එවල ඔයාල කියනව "අනේ බලන්නකො කැත" කියල ලස්සන කකුල් දෙකක් ලැබෙන්නෙ උපන් උරුමයෙන්. අපිට පස් මහ බැලුම් බලන්න බැරි වීමේ අවාසනාව ඒක...අපිරිසිදු... ලෙඩ කකුල් කියන්නෙ ඔයාගෙ තෝරාගැනීම. ❤❤❤❤❤❤

(Beauty Secrets with Rapunzel)